නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 අප්‍රේල් 09) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය වෙත උපන් දින සුභපැතුම් එක් කරන ලදි. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීමෙන් අනතුරුව සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් ‍එම ජ්‍යේෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදි.

1986 වර්ෂයේදී 15 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය තම සේවා කාලය තුල විවිධ නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇති අතර, සාම්පූර් නාවික ආධුනිකයින් පුහුණුකිරීමේ මධ්‍යස්ථානයේ ආඥාපති, ශ්‍රීලංනානෞ ශික්‍ෂා ආයතනයේ ආඥාපති හා පූනෑව ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරී, වයඹ, බටහිර සහ උතුරු නාවික විධානයන්හි නියෝජ්‍ය ආඥාපති, අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, ගිනිකොන සහ උතුරු නාවික විධානයේ ආඥාපති ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කල කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.