නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදි කෙරුණු ලංකාගම නිල්වැල්ල පාලම ජනතා අයිතියට

දකුණු පළාතේ ගාල්ල, නෙළුව, ලංකාගම සහ නිල්වැල්ල ගම්මාන යාකරමින් නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදි කරණ ලද ලංකාගම නිල්වැල්ල පාලම දකුණු පලාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීත්වයෙන් 2021 අප්‍රේල් මස 10 දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ‘‍සෞභාග්‍යයේ දැක්ම’ සංකල්පය සාක්‍ෂාත් කරමින් නෙළුව ලංකාගම ‍සහ නිල්වැල්ල ගම්මානයන්හි ජනතාව වෙත දීර්ඝ කාලයක් මුළුල්ලේ ගිං ගඟ තරණය කිරීමට පැවති ඉතා අවදානම් සහිත දුෂ්කර ගමන් මාර්ගය වෙනුව‍ට ප්‍රදේශයේ ජනතාවගේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් වඩාත් ආරක්‍ෂිතව සහ පහසුවෙන් ගමනාගමන කටයුතු සිදු කර ගැනීමට හැකිවන පරිදි මෙම ලංකාගම නිල්වැල්ල පාලම අභිනවයෙන් ඉදි කරන ලදි. දකුණු පලාත් සභාවේ ප්‍රතිපාදන මත, මාර්ග සංවර්ධන අධිකාරියේ සැළසුම්කරණයෙන් හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් 2020 ජුලි මස 28 වන දින මෙම පාලමේ ඉදිකිරීම් නාවික හමුදාව මඟින් ආරම්භ කෙරැණු අතර, කඩිනමින් ඉදිකිරීම් අවසන් කර අද දින ජනතා අයිතියට පත්කරන ලද මෙම ලංකාගම නිල්වැල්ල පාලම දිගින් මීටර් 84 ක් සහ පළල මීටර් 1.8 ක් වේ.

අභිනවයෙන් ගිං ගඟ හරහා ඉදිකරන ලද මෙම ලංකාගම සහ නිල්වැල්ල පාලම මගින් ගම් වාසී ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා, රාජකාරී අවශ්‍යතාවයන් මෙන්ම පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද පහසුවෙන් සිදු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම පාලම විවෘත කිරීමේ අවස්ථාව සඳහා මැති ඇමතිවරුන්, දකුණු නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සම්භාවනීය අමුත්තන්, නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් ද සහභාගී වී සිටියහ‍.