නාවික හමුදාව විසින් ගිං ගඟ ආශ්‍රිතව ආපදා කළමණාකරන පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ

ගංවතුර තත්වයන්ට සාර්ථකව මුහුණ දීමේ අරමුණින් ආපදා කළමනාකරණය පිළිබඳව පුහුණු වැඩසටහනක් 2021 අප්‍රේල් 05 වන දින සිට 10 වන දින දක්වා ගිං ගඟ කේන්ද්‍ර කර ගනිමින් ගිංතොට ප්‍රදේශයේදී පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝනයට අනුයුක්ත ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයේ (4RU) උපදේශකයින් විසින් අධියර දෙකක් (02) ලෙස පවත්වන ලද මෙම පුහුණු වැඩසටහන මඟින් ජලයේදී අනතුරට පත්වන පිරිස් ජිවිතාරක්‍ෂක ක්‍රමවේදයන් හා උපකරණ නිවැරදිව භාවිතා කරමින් ආරක්‍ෂාකාරීව මුදවා ගන්නා ආකාරය හා මුදාගැනීමෙන් පසු මුලික ප්‍රථමාධාර ලබාදීම සම්බන්ධයෙන් න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක් ලබාදීම සිදු කෙරිණි. තවද කුඩා යාත්‍රා හැසිරවීම හා පිහිනීමේ තාක්‍ෂණික ක්‍රමවේදයන් සම්බන්ධයෙන්ද පුළුල් දැනුමක් මෙම පුහුණු වැඩසටහනේදී ලබා දෙන ලදි.

දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අදමිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත ක්‍රියාත්මක කල මෙම පුහුණු වැඩසටහන සදහා දකුණු නාවික විධානයේ සියලුම ආයතන නියෝජනය කරමින් නාවිකයින්, ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුයුක්ත යුද්ධ හමුදා සාමාජිකයින් සහ ගාල්ල පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් නිලධාරීන් ‍ඇතුළු 63 දෙනෙකුගෙන් යුත් පුහුණුවන්නන් කණ්ඩායමක් මේ සදහා සහභාගි වී සිටියහ.