නාවික හමුදාධිපතිතුමන්ගේ සිංහල හා දමිළ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය

සිංහල හා දමිළ අලුත් අවුරුද්දක අරුණළු උදාවන මේ හෝරාවේ සියලුම නිලධාරීන්, නාවිකයින්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුලේ සියලුම සාමාජිකයින් හට සාමය, සතුට හා සෞභාග්‍ය සපිරි නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවායි මා ඇතුළු මාගේ පවුලේ සියලු දෙනා ඉත සිතින් සුභාසිංශනය කරන්නෙමු.

අප මාතෘ භූමියේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් මෙන්ම අද අප සියලු දෙනා අත්විදින සාමයේ සැබෑ කොටස්කරුවන් වන තම වටිනා ජිවිතය පුජා කල හා සටනේදි ආබාධිත වු සියළුම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ආදරණීය සාමාජිකයින් අද දින ඉතා ගෞරවාභිමානයෙන් මා සිහිපත් කරමි.

තවද, සිය රාජකාරිය ඉටුකිරිමේ උදාරතර අරමුණ පෙරදැරි කරගෙන තම දෙමාපිය, දුදරුවන් සහ නෑදැ හිතවතුන් සමඟින් අලුත් අවුරුද්ද සැමරීම සඳහා අවස්ථාව නොලද සියලුම නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ විශිෂ්ඨ කැපවීම සිහිකරනුයේ මහත් අභිමානයෙනි.

මේ වන විට ලෝපුරා පැතිර යන කොව්ඩ් -19 වසංගතය අභිමුවෙහි රෝගාතුරව තවදුරටත් ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින් මෙන්ම ලෝකවාසි සියලු දෙනා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

එමෙන්ම සියලු නාවික පුද්ගලයින් හා සිවිල් පුද්ගලයින් ඇතුළු ඔබ පවුල්වල සාමාජිකයින්ගේ අනාගත අභිමතාර්ථයන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර, සියලු දෙනා හට ත්‍රිවිධ රත්නයේ පිහිට හා තමන් අදහන සියලු දෙවියන්ගේ රැකවරණය නිරන්තරයෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

වෘත්තීමය වශයෙන් පිරිපුන් ශක්තිමත් නාවික හමුදාවක් බිහි කිරීම සඳහා අපි සැවොම තවදුරටත් කැපවෙමු.