ශ්‍රී ලංකා නාවික හමුදාවට ආශිර්වාද පතා ක්‍රිස්තියානි දේව මෙහෙයක් ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පවත්වනු ලබන ක්‍රිස්තියානි දේව මෙහෙය ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ Christ the King Chapel දේවස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්නගේ ප්‍රධානත්වයෙන්, ත්‍රිකුණාමලය රදගුරු, ආචාර්ය ක්‍රිස්තියන් නොයෙල් එමානුවෙල් හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලාගේ සහභාගීත්වයෙන් 2021 අප්‍රේල් 17 වන දින පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා සංවිධානය කළ ආගමික වැඩසටහන් මාලාව ආරම්භ කරමින්, බෞද්ධ ආගමික වැඩසටහන් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑ රඳුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස ද, මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් අබියසදී ද පැවැත්වීමට කටයුතු කෙරිණි. ඒ අනුව මෙම ආගමික වැඩසටහන් මාලාවේ ක්‍රිස්තියානි දේව මෙහෙය අප්‍රේල් 17 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ Christ the King Chapel දේවස්ථානයේදී පවත්වා රට වෙනුවෙන් දිවිපිදූ සහ අබාධිත තත්වයට පත් නාවික රණවිරුවන් මෙන්ම සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් ඇතුළු සමස්ත නාවික හමුදාවට ආශිර්වාද ප්‍රාර්ථනා එක් කෙරිණි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වන ලද මෙම ක්‍රිස්තියානි දේව මෙහෙය සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, ධජ නිලධාරී නාවික දියත් විධානය, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් මෙන්ම නාවික පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.