විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් අවමංගල්‍යාධාරයක්

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ සේවය කර විශ්‍රාම යන ලද නාවික පුද්ගලයින්ගේ සුභ සාධන කටයුතු වඩාත් පුළුල් කිරීමේ අරමුණින් ඔවුන්ගේ අවමංගල්‍ය අවස්තාවකදී අදාල විශ්‍රාමික නාවික පුද්ගලයාගේ ලඟම ඥාතීන් වෙත රුපියල් ලක්‍ෂයක (රු.100,000.00) අවමංගල්‍යාධාරයක් පිරිනැමීමේ වැඩපිලිවෙලක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව, වසර 20 ක් හෝ ඊට වැඩි කාලයක් සේවය කර විශ්‍රාම යන ලද නිත්‍ය හා ස්වේච්ඡා නිලධාරීන්, වසර 15 ක් හෝ ඊට වැඩි කාලයක් සේවය කර විශ්‍රාම යන ලද නිත්‍ය හා ස්වේච්ඡා කාන්තා නිලධාරිනියන්, වසර 22 ක් හෝ ඊට වැඩි කාලයක් සේවය කර විශ්‍රාම යන ලද නිත්‍ය/ස්වේච්ඡා සහ ස්වේච්ඡා විශේෂ ක්‍රමය යටතේ බඳවාගත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින්, වසර 15 ක් හෝ ඊට වැඩි කාලයක් සේවය කර විශ්‍රාම යන ලද නිත්‍ය/ස්වේච්ඡා සහ ස්වේච්ඡා විශේෂ ක්‍රමය යටතේ බඳවාගත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා නාවිකයින්, ක්‍රියාන්විත රාජකාරීන්හි යෙදී සිටියදී තුවාල ලබා ආබාධිතව විශ්‍රාම ගන්වන ලද නාවික පුද්ගලයින් සහ රාජකාරීන්හි යෙදී සිටිය‍දී රාජකාරියට සම්බන්ධව සිදුවන අනතුරු මත වෛද්‍යමය හේතුන් යටතේ විශ්‍රාම ගන්වන ලද නාවික පුද්ගලයින්ගේ අවමංගල්‍ය අවස්ථාවන්හිදී මෙම අවමංගල්‍යාධාර පිරිනැමෙනු ඇත.

විශ්‍රාමික නාවික පුද්ගලයා මියගිය බවට නාවික හමුදා සුභසාධක අංශය වෙත දුරකථන අංක 0117192525/ 0117192512 ඔස්සේ දැනුවත් කර අවමංගල්‍ය සිදුවී මාස 03ක කාලසීමාවක් ඇතුලත මරණය ලියාපදිංචි කිරීමේ සහතිකය හෝ අනන්‍යතාවය සහතික කිරීමේ ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම අවමංගල්‍යාධාරය මියගිය විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයාගේ නීත්‍යානුකූල භ්‍යාර්යාව/ ස්වාමිපුරුෂයා හෝ ළඟම ඥාතියා හට ලබා ගැනීමේ හැකියාව ඇත.

එසේම නොවැළැක්විය හැකි හේතූන් මත අදාල මාස 03ක කාලසීමාව ඇතුලත අවශ්‍ය ලියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් නාවික හමුදා සුභසාධක අංශය දැනුවත් කිරීමෙන් පසු නාවික හමුදාධිපතිගේ විශේෂ අනුමැතියට යටත්ව මෙම අවමංගල්‍යාධාරය ලබා දීමේ හැකියාව සලකා බලනු ඇත.