නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය සඳහා බහුකාර්යය උත්සව ශාලාවක් ඉදි කෙරේ

සියළුම නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධන කටයුතු පුළුල් කිරීමේ අරමුණින් නවීන පහසුකම් වලින් සමන්විත බහුකාර්යය උත්සව ශාලාවක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද (2021 අප්‍රේල් 25) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් වැලිසර නාවික සංකීර්ණයේදී සිදු කෙරිණි.

නාවික හමුදා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලික ප්‍රිය සම්භාෂන, විවාහ මංගල උත්සව ඇතුළු අනෙකුත් උත්සව අවස්ථාවන් ඉතා සහනදායි මිළකට සිදු කර ගැනීම සඳහා නවීන පහසුකම් සහිත ශාලා පහසුකම් සපයා ගැනීමේදී ඇති වන විවිධ දුශ්කරතා සඳහා පිළියමක් ලෙස ඉදිවන මෙම බහුකාර්යය උත්සව ශාලාව සියළුම නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය සඳහා මහත් පිටුවහලක් වනු ඇත.

මෙම ශාලාව තුල එකවර විශාල පිරිසකට පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇති අතර, නාට්‍ය සහ සංගීත වැඩසටහන් සිදුකල හැකි වේදිකාවක්, කුඩා දරුවන්ගේ විනෝදාස්වාදය උදෙසා සහ අවන්හලක් සඳහා වෙන්කල වැඩි ඉඩක් සහිත ප්‍රදේශයක්, නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත නවාතැන් පහසුකම් මෙන්ම විශේෂ පුද්ගලයන් හට විවේක ගැනීම සඳහා වෙන්වූ පහසුකම්වලින්ද සමන්විතව මෙම උත්සව ශාලාව ඉදිකිරීමට නියමිතව ඇත.

නවීන තාක්‍ෂණික පහසුකම් වලින් සමන්විතව ඉදිවන මෙම උත්සව ශාලාව මඟින් නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සාකච්ඡා හා ශ්‍රාස්ත්‍රීය සම්මන්ත්‍රණ, වැඩමුළු, දේශණ, සුහද හමුවන්, නාවික හමුදා දින උත්සව, වර්ණ ප්‍රධානෝත්සව ඇතුළු නාවික හමුදාවේ විවිධ උත්සව අවස්තාවන් ඉතා පහසුවෙන් සිදු කර ගැනීමට හැකිවනු ඇත. එමෙන්ම එවැනි උත්සව අවස්ථාවන් සඳහා අවශ්‍ය ඉඩකඩ සහිත ශාලා පහසුකම් වෙළඳපොලෙහි පවත්නා මිළ ගණන් යටතේ බාහිර පාර්ශවයන් වෙතින් ලබා ගැනීමේදී වැය කිරීමට සිදුවන විශාල මුදල් ප්‍රමාණය නාවික හමුදාව තුල ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති අතර, එම මුදල් නාවික පුද්ගලයන්ගේ සුභසාධන කටයුතු තවදුරටත් පුළුල් කිරීම උදෙසා යෙදවීමේ හැකියාව උදාවනු ඇත.

වැලිසර කජුගහකුඹුර වැවට මුහුණලා මනරම් පරිසරයක වාහන නවතා තැබීමේ විශාල ඉඩ පහසුකම් සහිතව ඉදිවන මෙම බහුකාර්යය උත්සව ශාලාවෙහි පරිපාලන කටයුතු මාලිමා සත්කාරක සේවාව මඟින් සිදුකිරීමට නියමිත අතර, බාහිර පාර්ශවයන් සඳහා ද මංගල උත්සව ඇතුළු විවිධ පෞද්ගලික උත්සව අවස්ථාවන් සඳහා මෙමඟින් සේවාවන් ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

මෙම මුල්ගල තැබීමේ අවස්තාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශණ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු කමල් බෝම්බුගලගේ, වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කොමදෝරු එම්ජේආර්ආර් මැදගොඩ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.