ක්‍රියා විරහිත වූ පාලම් පාරුව නාවික හමුදා දායකත්වයෙන් යලි පණගැන්වේ

යාපනය පුංගුඩුතිව් දූපතේ කුරිකට්ටුවාන් ජැටියේ සිට නයනතිව් දූපත දක්වා භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදා ගන්නා ලද පාලම් පාරුව (Ferry) මාස ගණනාවක් අක්‍රීය තත්ත්වයේ තිබී නාවික හමුදාවේ දායකත්වයෙන් පසුගිය දා අලුත්වැඩියා කර යලි පණගැන්වීමට කටයුතු කෙරිණි.

යාපනය නයනතිවු දූපත වෙත කුරිකට්ටුවාන් ජැටියේ සිට භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදවන ලද පාලම් පාරුව මාස ගණනාවක් අක්‍රීය තත්ත්වයේ තිබීම නයනතිව් දූපත් වාසීන්ගේ එදිනෙදා කටයුතු නිසිලෙස සිදුකර ගැනීමට මහත් බාධාවක් වී තිබුණි. තවද, රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව නාගදීප රජමහා විහාරස්ථානයේ සිදුකරනු ලබන සංවර්ධන කටයුතු මෙන්ම නයනතිවු දූපතේ සිදු කෙරෙන මාර්ග කාපට් ඇතිරීමේ ව්‍යාපෘතියට අදාළ භාණ්ඩ සහ යන්ත්‍ර සූත්‍ර ප්‍රවාහනය නිසි ලෙස සිදුකිරීමටද මෙය මහත් බාධාවක් වී තිබුණි.

මෙම පාලම් පාරුව අකර්මන්‍ය වීම හේතුවෙන් නයනතිවු දූපතේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා සැපයුම් අවශ්‍යතා නාවික හමුදාවේ ගොඩ බෑමේ යාත්‍රා මඟින් කන්කසන්තුරය වරායේ සිට නයනතිවු දූපත වෙත ප්‍රවාහනය කිරීමේදී වැය වන විශාල පිරිවැය පිළිබඳ අවධානය යොමු කළ නාවික හමුදාව, මෙම අකර්මන්‍ය තත්ත්වයේ තිබූ පාලම් පාරුව උතුරු නාවික විධානයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ අළුත්වැඩියා කර මෙලෙස යලි පණ ගැන්වීමට කටයුතු කෙරිණි.

එමෙන්ම මෙම පාලම් පාරුවේ බෑවුම් දොර දිරාපත්වීම හේතුවෙන් නයනතිව් දූපත ආසන්නයේ මුහුදට වැටී තිබු අතර, එම බෑවුම් දොර උතුරු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශය මඟින් මහත් පරිශ්‍රමයක් යොදා යලි ගොඩගෙන අවශ්‍ය පිළිසකර කිරීම් වලින් අනතුරුව පාලම් පාරුවට සවි කරන ලදී.

නාවික හමුදාව මඟින් මෙම පාලම් පාරුව යලි ක්‍රියාකාරී තත්ත්වයට පත්කර දූපත්වාසී ජනතාවගේ ජනජීවිතය යථාතත්වයට පත් කිරීමට ක්‍රියා කිරීම යාපනය ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ සහ පොදු මහජනතාවගේ ඉමහත් ප්‍රශංසාවට ලක්වූ අතර, මෙමඟින් රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව නයනතිවු දුපතේ සිදු කරන සංවර්ධන කටයුතු කාර්යක්‍ෂමව සිදුකර ගැනීම සඳහා ද මහත් පිටුවහලක් වනු ඇත.