නාවික හමුදාව මඟින් කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ ප්‍රදේශයේ ස්ථාපනය කෙරේ

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට ශක්තියක් වෙමින් ගම්පහ ප්‍රදේශයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම නාවික හමුදා දායකත්වයෙන් 2021 මැයි මස 02 වන දින ආරම්භ කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කළ ඉල්ලීමකට වහාම ප්‍රතිචාර දක්වමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ වසා දමන ලද කර්මාන්ත ශාලාවක් නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රමදායකත්වයෙන් කොවිඩ් 19 සඳහා ප්‍රතිකාර කිරීමේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්ථනය කිරීම මෙලෙස ආරම්භ කෙරිණි. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා නාවික හමුදා සිවිල් හා විදුලි ඉංජිනේරු අංශයන්ට අයත් නාවික පුද්ගලයින් කණ්ඩායමක් අනුයුක්ත කර ඇත.

මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල පවත්නා ඉඩ පහසුකම් අනුව ඇඳන් 2000ක ප්‍රමාණයක් දක්වා පහසුකම් ලබාදිය හැකි වන පරිදි යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලබයි.