නාවික හමුදා පුද්ගලයන්ගේ දායකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් හම්බන්තොටදී

නාවික හමුදාව සහ ජාතික රුධිර පාරවිලයන සේවය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් අද (2021 මැයි 14) හම්බන්තොට ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී.

කොවිඩ් 19 වෛරසයේ බලපෑමත් සමඟ හම්බන්තොට ලේ බැංකුව සතුව පවතින රුධිර සංචිත සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවත්, ඒ අනුව පවතින රුධිර හිඟතාවය සම්බන්ධයෙන් එම ලේ බැංකුවේ අධ්‍යක්‍ෂ තුමන් විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත දකුණු නාවික ප්‍රදේශය භාර ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ ගේ අධීක්‍ෂණය යටතේ අද (2021 මැයි 14) හම්බන්තොට ශ්‍රීලංනානෞ කාවන්තිස්ස ආයතනයේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙහිදී පවතින වසංගත තත්ත්වය හමුවේ වුවද ජාතික අවශ්‍යතාවක් ලෙස සළකා මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ශ්‍රීලංනානෞ කාවන්තිස්ස ආයතනයට අනුයුක්ත නිලධාරීන් හා නාවිකයින් ඉතා උනන්දුවෙන් සිය දායකත්වය ලබා දීමට එක් වී සිටියහ.

පවතින කොවිඩ් 19 අවදානම් තත්ත්වය යටතේ සෞඛ්‍ය අංශ මඟින් ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් සිදුකළ මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා හම්බන්තොට ලේ බැංකුවේ කාර්යය මණ්ඩලය සහ නාවික හමුදා වෛද්‍ය කාර්යය මණ්ඩලය සිය පූර්ණ දායකත්වය ලබා දුන් අතර, රට තුළ ඇතිවන ඕනෑම ජාතික අවශ්‍යතාවකදී තම දායකත්වය උපරිමයෙන් ලබා දීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.