නාවික රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් වැඩසටහන් මාලාවක්

12 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව නාවික හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2021 මැයි 19 වන දින වැලිසර නාවික රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත්ව පැවැත්වුණු අතර, ඊට අමතරව නාවික රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් වැඩසටහන් මාලාවක් නාවික විධානයන්හි සංවිධානය කර තිබුණි.

ඒ අනුව, 2021 මැයි මස 18 වන දින උතුරු නාවික විධානය මගින් සංවිධානය කරන ලද රණවිරු අනුස්මරණ වැඩසටහන උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතන පරිශ්‍රයෙහි ද, ගිනිකොන නාවික විධානය මඟින් සංවිධානය කරන ලද රණවිරු අනුස්මරණ වැඩසටහන අම්පාර, මුවන්ගල ප්‍රදේශයේ පිහිටි රණවිරු ස්මාරකය අබියස දී ද පවත්වන ලදි. තවද ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ සහ 04 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝන මුලස්ථානයේද රණවිරු අනුස්මරණ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කර තිබිණි.

දකුණු නාවික විධානය මඟින් නාවික රණවිරුවන් අනුස්මරණය කරමින් 2021 මැයි මස 18 සහ 19 දෙදින ගාල්ල, මාගාල්ලෙහි පිහිටි සම්බෝධි ළමා නිවාසයේ ළමුන් සහ කාර්ය මණ්ඩලය සඳහා දිවා ආහාරය ලබාදීම සහ හම්බන්තොට ශ්‍රී ගුණානන්ද පිරිවෙනෙහි ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක් පවත්වන ලදී.

පවත්නා කොවිඩ් 19 අවදානම් තත්ත්වය හමුවේ ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සංවිධානය කරන ලද මෙම සැමරුම් වැඩසටහන් සඳහා සීමිත නාවික පුද්ගල පිරිසක් සහභාගීවී සිටියහ.