නාවික හමුදා ක්‍රීඩිකාවක් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයෙහි නියුතු නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල කාන්තා නාවිකයා, කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

2011 වසරේ සිට නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය නියෝජනය කරනු ලබන නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල, 2012 වසරේ සිට ජාතික වෙඩි තැබීමේ සංචිතය නියෝජනය කරමින් හත් වතාවක් (07) ශ්‍රී ලංකාවේ හොඳම වෙඩික්කාරිය ලෙස තෙරී පත් වී ඇති අතර, මීට අමතරව මෙරට නියෝජනය කරමින් විදෙස් තරගාවලි රැසකට සහභාගි වී විශිෂ්ට දක්‍ෂතා පෙන්නුම් කර තිබේ. ඇය 2018 වසරේ සිට කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියනු ලබන අතර, 2019 වසරේ සිට කාන්තා තුන් ඉරියව් මීටර් 50 රයිෆල් 0.22 ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියයි.

2016 වර්ෂයේ ඉන්දියාවේදී සහ 2019 වර්ෂයේ නේපාලයේ දී පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලයන්හීදී කාන්තා මිටර් 50 රයිෆල් 0.22 කණ්ඩායම් ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වු ඇය, 2019 කටාර් හි පැවැත් වු කාන්තා මිටර් 50 රයිෆල් 0.22 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව හිමිකර ගන්නා ලදී. ඇයගේ විශිෂ්ට දක්‍ෂතා හේතුවෙන් ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් ඉදිරියෙන් සිටීම නිසා මෙලෙස 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇයට හැකියාව ලැබිණි.

ශ්‍රි ලංකා නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මග පෙන්වීම යටතේ නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ සම්පත් හා පහසුකම් වැඩි දියුණු කිරීම, නාවික හමුදාවේ මෙන්ම රටේ කීර්තිනාමය ඉහළ නැංවීම සඳහා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට විශාල පිටුවහලක් ගෙන දී ඇත. තවද, නාවික හමුදා වෙඩිතැබිම් සංචිතයේ සභාපති කපිතාන් (නාවික පාබල) ආර්ඒ රේමන්ඩ් ගේ අධීක්‍ෂණය යටතේ අඛණ්ඩ පුහුණුවීම් සිදු කරනු ලබන නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල ගේ වර්තමාන පුහුණුකරු ලෙස පාලක ප්‍රධාන සුළු නිලධාරි (විශ්‍රාමික) යුඑම් ප්‍රේමලාල් කටයුතු කරනු ලබයි.

ඒ අනුව, අඛණ්ඩ පුහුණුව සහ කැපවීම තුළින් විශිෂ්ට දක්‍ෂතා පෙන්නුම් කර කාන්තා රයිෆල් ඉසව්වෙන් ප්‍රථම වරට නාවික හමුදාව නියෝජනය කරමින් නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල 2020 ටොකියෝ ඔලිම්පික් උළෙල සදහා සුදුසුකම් ලබා ගැනීමෙන් නාවික හමුදාවට සහ රටට විශාල ගෞරවයක් ගෙන දී ඇති අතර, ඉදිරියේ දී ඇය කාන්තා රයිෆල් ඉසව්වෙන් තවත් ජයග්‍රහණ ලබා ගනිමින් ජාත්‍යන්තරය ඉදිරියේ නාවික හමුදාවේ මෙන්ම ශ්‍රි ලංකාවේ කීර්තීනාමය ඉහළ නැංවිමට කටයුතු කරනු ඇත.