සේවා වනිතා ඒකකය මඟින් නැගෙනහිර නාවික විධානයේ ‘ලේ දන්දීමේ පිංකමක්’

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ මඟ පෙන්වීම යටතේ නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි 2021 මැයි 24 වන දින සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනට සමගාමීව නැගෙනහිර නාවික විධානයෙහි පවත් වන ලද ලේ දන්දිමේ වැඩසටහන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න ගේ සහභාගීත්වයෙන් ශ්‍රීලංනානෞ ‘තිස්ස’ ආයතනයේ සේවා වනිතා පෙර පාසල් පරිශ්‍රයේ දි අද (2021 මැයි 30) පැවැත්වීමට කටයුතු කෙරිණි.

පවත්නා වසංගත තත්ත්වය හමුවේ පරිත්‍යාගශීලීන් හට ලේ පරිත්‍යාග කිරීමේ ඇති දුෂ්කරතා මත රෝහල් තුල ඇති ලේ බැංකු සහ ජාතික ලේ බැංකුවෙහි පවතින රුධිර සංචිත ප්‍රමාණයන් සීඝ්‍ර ලෙස පහත වැටීම හේතුවෙන්, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මඟ පෙන්වීම යටතේ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවා සමග ලේ බැංකු හා සම්බන්ධීකරණය වෙමින් නැගෙනහිර නාවික විධානයේ ලේ දන්දීමේ පිංකම සංවිධානය කෙරුණි. ඒ අනුව අද (2021 මැයි 30) 0830 පැයේ සිට 1800 පැය දක්වා නැගෙනහිර නාවික විධානයෙහි ආයතන හා නෞකාවන් නියෝජනය වන පරිදි ශ්‍රීලංනානෞ තිස්ස ආයතනයේ පෙර පාසල් පරිශ්‍රයේ පවත්වන ලද මෙම ලේ පරිත්‍යාග කිරීමේ මහගු පුණ්‍ය කර්මය සදහා නාවික පුද්ගලයින් 275 දෙනෙකු දායක වූහ.

තවද, කොවිඩ් 19 වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කළ මෙම ලේ පරිත්‍යාග කිරීමේ පිංකම සඳහා නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය අඥාපති රියර් අද්මිරාල් අනුර ධනපාල, වැඩ බලන කොමදෝරු සෞඛ්‍ය අධිකාරි (නැ) කපිතාන් ඩීකේ ආරියදේව ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නිලධාරිනියන් පිරිසක් සහභාගි වි සිටියහ.