නික්ම යාමට නියමිත රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුද, ගුවන් හා නාවික ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී නික්ම යාමට නියමිත කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා (Colonel Denis I. Shkoda) අද (2021 ජුනි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

මෙම හමුවේදී, සිය රාජකාරි කාලසීමාව තුළ නාවික හමුදාව විසින් ලබාදුන් සුහදශීලි සහයෝගය සම්බන්ධයෙන් රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක විසින් නාවික හමුදාධිපති වෙත සිය කෘතඥතාවය පළ කරන ලද අතර, එතුමාගේ ධූර කාලය තුළ නාවික හමුදාවට දක්වන ලද සහාය සම්බන්ධයෙන් ද මෙහිදි නාවික හමුදාධිපති විසින් එතුමා වෙත සිය ප්‍රසංසාව පිරිනැමීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාධිපති සහ රුසියානු සමුහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක විසින් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවත්නා දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීත්වය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද පිළිසඳරක නිරත විමෙන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක කර්නල් පවෙල් වි.ඉවෂින්නිකෝව් (Colonel Pavel V.Ivashinnikov) ද සහභාගී විය.