නාවික හමුදා දායකත්වයෙන් ඉදිවන ගම්පහ වැරැල්ලවත්ත ‍කෝවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු අධියර විවෘත කෙරේ

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදා දායකත්වයෙන් ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ වසා දමන ලද කර්මාන්ත ශාලාවක් කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කිරීම නාවික හමුදාව විසින් ආරම්භ කරන ලද අතර, 2021 ජූනි මස 07 වන දින මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇඳන් 650කින් යුත් පළමු අධියර සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කර සෞඛ්‍ය සේවයට එක් කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කළ ඉල්ලීමකට වහාම ප්‍රතිචාර දක්වමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රමදායකත්වයෙන් 2021 මැයි මස 02 වන දින ආරම්භ කෙරිණි. මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල පවත්නා ඉඩ පහසුකම් අනුව ඇඳන් 2000ක ප්‍රමාණයක් දක්වා පහසුකම් ලබා දිය හැකි වන පරිදි නාවික හමුදාව විසින් යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලබන අතර, එහි ඇඳන් 650කින් යුත් පළමු අධියර ජූනි මස 07 වන දින මෙලෙස විවෘත කර සෞඛ්‍ය සේවයට එක් කෙරිණි.

තවද, නාවික හමුදාව විසින් මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල අප ජලය පිරිසිදු කිරීමේ පවිත්‍රාගාරයක් ද ස්ථාපනය කිරීමට කටයුතු කළ අතර, එමගින් මෙම මධ්‍යස්ථානය තුළ භාවිතා කරනු ලබන ජලය පරිසරයට මුදා හැරීමට පෙර පිරිසිදු කර මුදා හැරීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම අවස්ථාව සදහා රජයේ මැති ඇමති වරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මීරාල් උපුල් ද සිල්වා, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු, කොමදෝරු එම්ජේආර්ආර් මැදගොඩ ඇතුළු සීමිත පිරිසක් සහභාගි වි සිටියහ.

ඡායාරූප අනුග්‍රහය - තිලකරත්න දිසානායක මහතා සහ නිමල්සිරි එදිරිසිංහ මහතා