බූස්ස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට වෛද්‍ය උපකරණ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාවිතය සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ, ඇඳන් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලීසන්ස් රෝහල සහ ඩයලොග් ආයතනය විසින් මනුසත් දෙරණ මානුෂීය ක්‍රියාත්විතය වැඩසටහන හා එක්ව දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ වෙත පරිත්‍යාග කිරීම 2021 ජුනි 04 සහ 11 යන දිනයන්හි දකුණු නාවික විධාන මුලස්ථානයේ දි සිදු කෙරිණි.

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් බූස්ස නාවික හමුදා කඳවුර තුළ නාවික හමුදාව විසින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලද අතර, එම ප්‍රථිකාර මධ්‍යස්ථානය සඳහා විවිධ ආයතන හා සංවිධාන විසින් නාවික හමුදාව වෙත ද්‍රව්‍යමය ආධාර සිදු කරනු ලබයි. ඒ අනුව, මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමක් 2021 ජුනි මස 04 වන දින ලීසන්ස් රෝහල විසින් මනුසත් දෙරණ වැඩසටහන හා එක්ව සිදු කරන ලද අතර, ඩයලොග් ආයතනය විසින් මනුසත් දෙරණ හා එක්ව රෝගීන්ගේ භාවිතය සඳහා අවශ්‍ය ඇඳන් 50ක ප්‍රමාණයක් ලබා දීම 2021 ජුනි මස 11 වන දින සිදු කෙරිණි.

මෙම අවස්තාවන් සඳහා දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු හරීන්ද්‍ර ඒකනායක ඇතුළු ලීසන්ස් රෝහල, ඩයලොග් ආයතනය සහ මනුසත් දෙරණ ආයතනය නියෝජනය කරමින් සීමිත පිරිසක් සහභාගී වි සිටියහ.