නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සනත් උත්පල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සනත් උත්පල සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 ජුනි 14) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් සනත් උත්පල වෙත උපන් දින සුභපැතුම් එක් කරන ලදී. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාර පුද ‍කිරීමෙන් අනතුරුව සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් ‍එම ජ්‍යේෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදී.

1986 වර්ෂයේදී 15 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් සනත් උත්පල, තම සේවා කාලය තුළ විවිධ නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇති අතර, නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා, වයඹ, බටහිර, උතුරු මැද නාවික විධානයන්හි නියෝජ්‍ය ආඥාපති, ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ නිලධාරී සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.