රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

වසර 35 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි අද (2021 මැයි 20) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි වෙත උපන් දින සුබපැතුම් එක් කරන ලදී. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීමෙන් අනතුරුව සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් ‍එම ජ්‍යේෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදී.

1986 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි සිය සේවා කාලය තුල, ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරී අභ්‍යන්තර විගණන, නියෝජ්‍ය අධ්‍යක්‍ෂක නාවික සැපයුම්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂක නාවික විදේශ මිළදී ගැනීම්, කපිතාන් සැපයුම් හා සේවා බටහිර සහ උතුර, අධ්‍යක්‍ෂක නාවික අය වැය, නියෝජ්‍ය අධ්‍යක්‍ෂක දේශීය මිළදී ගැනීම්, අධ්‍යක්‍ෂක නාවික ආහාර හා නිළ ඇඳුම්, අධ්‍යක්‍ෂ නාවික ලේකම්, අධ්‍යක්‍ෂ නාවික පරිපාලන, අධ්‍යක්‍ෂ ක්‍රීඩා, කොමදෝරු අධිකාරී සැපයුම් හා සේවා නැගෙනහිර, නාවික ලේකම්, අධ්‍යක්‍ෂක නාවික විදේශ මිළදී ගැනීම්, නාවික හමුදාධිපතිගේ ලේකම්, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා ආදී ප්‍රමුඛ නිලතල ද දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.