නාවික හමුදා දායකත්වයෙන් තලෙයිමන්නාරම ප්‍රාදේශීය රෝහලට ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක්

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස තලෙයිමන්නාරම ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය උතුරුමැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් විසින් 2021 ජුනි 19 දින ජනතා අයිතියට පත් කෙරිණි.

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ, තලෙයිමන්නාරම ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මගින් එම රෝහල වෙත පැමිණෙන මහජනතාවට මෙන්ම ප්‍රදේශවාසීන් හටද අවශ්‍ය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සළසා ගැනීමේ පහසුකම් සැලසෙනු ඇත.

පවත්නා කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව සඳහා මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී විනෝදන්, වෛද්‍ය භාග්‍යා වීරවර්ධන මෙනවිය ඇතුළු උතුරු මැද නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයින් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.