“ජල ශාස්ත්‍රිය විද්‍යාව තුළ වසර සියයක අන්තර්ජාතික සහයෝගීතාවය” - ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රිය සේවය ලෝක ජල ශාස්ත්‍රීය දිනය සමරයි.

මිනිසා ජලය මත යාත්‍රා කිරීම ඇරඹුදා සිට ජල ශාස්ත්‍රිය විද්‍යාව වැදගත් කාර්යය භාරයන් ඉටු කරමින් සිටී. මහාද්වීප අතර යාත්‍රා කිරීම පිණිස මුහුදු සිතියමක අවශ්‍යතාව ඇති වූ අතර, දත්ත රැස් කිරීමේ සිට සිතියම් නිර්මාණය දක්වා සියලු කාර්යයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉතා උසස් තත්වයෙන් සිදුකිරීම සඳහා ජල ශාස්ත්‍රිය විද්‍යාව යොදා ගනී. රටක ආර්ථික සංවර්ධනය නගා සිටුවීමට අවශ්‍ය ජලය ආශ්‍රිත මිනුම් කටයුතු සිදුකිරිම තුළින් ජල ශාස්ත්‍රිය සේවය ජාතික අවශ්‍යතාවයන් සපුරා ගැනිම සඳහා අති විශාල දායකත්වයක් ලබා දේ. ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 94ක සාමාජිකත්වය සහිත අන්තර් ජාතික ජල ශාස්ත්‍රිය සංවිධානය (International Hydrographic Organization) කලාපීය වශයෙන් ස්ථාපිත අධිකාරීන් (Regional Hydrographic Commissions) 15 ක් හරහා ලොව පුරා ජල ශාස්ත්‍රිය කටයුතු සම්බන්ධීකරණය සිදුකරයි. මෙම සංවිධානය 1921 ජුනි මස 21 වන දින මොනාකෝ රාජ්‍යයේදී ස්ථාපිත කළ අතර, 2021 ජුනි මස 21 වන දින සිය සියවන සංවත්සරය සමරයි.

ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රිය සේවය (SLNHS ) 1970 ජනවාරි 19 වන දින ස්ථාපිත කර ඇති අතර, පසු කාලීනව ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් වූ එවකට ලුතිනන් ජස්ටින් ජයසුරිය එහි ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත. කෙසේ වුවද රට තුළ ඇති වු යුදමය වාතාවරණය හේතුවෙන් එහි ගමන් මඟ අඩාල වු අතර, නැවතත් 2012 වර්ෂයේදි ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රිය අංශය ලෙස කටයුතු අරඔන ලදී. ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලය (NHO) 1984 වර්ෂයේ දි ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) යටතේ පිහිටවනු ලැබු අතර, 2016 වර්ෂයේදි ඇති කර ගත් ගිවිසුමක් මගින් ජාතික කාර්යභාර්ය සඳහා උරදීමට ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රිය සේවය කටයුතු කරමින් සිටී. තවද, එම ආයතනයට අයත් සමුද්‍රිකා පර්යේෂණ නෞකාව (RV Samuddrika) මෙහෙයුම් කටයුතු එවැනිම ගිවිසුමක් මගින් සිදු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර ඇත.

ජල ශාස්ත්‍රිය විද්‍යාව පිළිබඳ උපරිම නිපුනතාවය ලබා ගැනීම සඳහා උසස් පුහුණුවක් අත්‍යාවශ්‍ය වන අතර, මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් මෙන්ම නාවිකයින්ද මහා බ්‍රිතාන්‍යය, ඉන්දියාව, බංගලාදේශය හා මැලේසියාව ආදි විවිධ රටවල පුහුණුවීම් සඳහා යොමු කරන අතර, නාවිකයින් සඳහා මේ වන විට නාවික හා සාගරික විද්‍යා පීඨයේදී ද මූලික පුහුණු පාඨමාලාවන් පවත්වයි. සෛද්ධාන්තික පුහුණුවට අමතරව දුෂ්කර වූ මුහුදු හා ගොඩබිම් පුහුණු සඳහා යොමුවීම මෙ‍හිදී අත්‍යවශ්‍ය අංගයකි. උසස් ගණිත සහ භෞතික විද්‍යාව පිළිබඳ මුලික දැනුම සතුවීම සහ අවදානම දරා ගනිමින් අභියෝගයක් සඳහා මුහුණ දීමට හැකි වීම මෙම හැදෑරීම සඳහා මූලික වේ. තම වෘත්තීය හා සැබැඳුනු අති නවීන තාක්‍ෂණික මෙවලම් භාවිතය මෙන්ම දත්ත විශ්ලේෂණය තුළින් රැස්කර ගන්නා දැනුම් සම්භාරය ජල ශාස්ත්‍රිය වේදියෙකු තම ජීවිතය තුළ ලබන විශාල භාග්‍යයකි.

රටවල් අතර සමුද්‍රීය සීමා නීර්ණය සමුද්‍රීය පරිසර සංරක්ෂණය සහ වෙරළ සංරක්ෂණය ආදි කටයුතු සඳහා අතිවිශාල දායකත්වයක් සැපයීමට ජල ශාස්ත්‍රිය විද්‍යාව සමත්ව ඇත. එමෙන්ම සමුද්‍රීය සම්පත් ගවේශණය සඳහා උපකාරි වීම තුළින් රටක ආර්ථික සංවර්ධනයට මනා පිටුවහලක් ලබා දීමට ද මෙම ක්ෂේත්‍රය සමත්ව ඇත. එබැවින් ජල ශාස්ත්‍රීය ක්‍රියාදාමයන් තම ජාතික සැලැස්මෙහි ඉහලම තලය තුළ පවත්වා ගෙන යාමට සියලු වෙරළ ආශ්‍රිත ජාතීන් තම අවදානය යොමු කිරීම අනිවාර්ය සාධකයකි. මෙම ජාතික අවශ්‍යතාවයට අනුගත වෙමින් කොළඹ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරායන්හි වාර්ෂික මිනුම් කටයුතු සඳහා මෙන්ම දිවයින වටා වෙරළ තීරය නිර්ණය කිරීම ආදි ජාතික අවශතා රැසක් වෙනුවෙන් තම ක්‍රියාකාරී දායකත්වය සැපයීමට ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවය සමත්ව ඇත. තවද, දිවයිනේ මුළු භූමි ප්‍රමාණය මෙන් 27 ගුණයක් පමණ විශාල වූ මුහුදු ප්‍රදේශයක් අයත් කර ගැනිම සඳහා එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS - United Nations Convention on the Law of the Sea) යටතේ මහද්වීපික තටකය (continental shelf claims) සඳහා වු ඉල්ලීම පිළිබඳ වාර්ථා සකස් කිරීම සඳහා තම උපරිම දායකත්වය සැපයීමටද ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රිය සේවය සමත් විය.

තවද, අනාගත පරපුර වෙනුවෙන් තම වගකීම් සම්භාරය පිළබඳ මනා අවබෝධයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රිය සේවය සුදුසුකම් ලත් නිලධාරින් මගින් රුහුණු විශ්ව විද්‍යාලය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආදී විශ්වවිද්‍යාලයන් හි සිසු සිසුවියන් සඳහා ජල ශාස්ත්‍රවේදය පිළිබඳ වාර්ෂිකව දේශන පවත්වනු ලබන අතර, ඊට සමගාමීව ප්‍රායෝගික පුහුණු සැසි පැවැත්වීම ද සිදුකරයි.

තම උසස් නිපුනතාවය යොදා ගනිමින් අන්තර්ජාතික ක්‍ෂේත්‍රය තුළ විවිධ සම්බන්දතා පැවැත්විම තුලින් තම ජාතික වගකීම මනා ලෙස ඉටු කිරීමටද ශ්‍රි ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රිය සේවය සමත්ව සිටී. අන්තර් ජාතික ජල ශාස්ත්‍රිය සංවිධානයෙහි කලාපීය සහයෝගීතාව මත උතුරු ඉන්දියානු සමුද්‍ර ජල ශාස්ත්‍රිය කොමිසමෙහි වර්තමාන සභාපති ලෙස නාවික හමුදා ප්‍රධාන ජල ශාස්ත්‍රවේදි රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න කටයුතු කරන අතර එහි 20 වන සම්මේලනය එලඹෙන ජූලි මාසයේදි ශ්‍රී ලංකාව මූලික කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජාත්‍යන්තර මුහුදු ගමන් සඳහා අතිශයින් වැදගත් වන ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයන් ඉන්දියානු ජල ශාස්ත්‍රිය අංශය සමඟ සම්බන්ධ වෙමින් නවීන අවශ්‍යතාවයට අනුකුලව මිනුම් කටයුතු කිරීමට පසුගිය කාලය තුළ කටයුතු කර ඇති අතර තම නිලධාරින් මෙන්ම නාවිකයින් ද විවිධ රටවල පුහුණු පාඨමාලාවන් සඳහා යොමු කිරීමට ද නාවික ජල ශාස්ත්‍රිය අංශය සමත්ව ඇත.

2021 ජුනි 21 වන දිනට යෙදෙන ලෝක ජල ශාස්ත්‍රිය දිනය “ජල ශාස්ත්‍රිය විද්‍යාව තුළ වසර සියයක අන්තර්ජාතික සහයෝගීතාවය” යන තේමාව පෙරදැරිව සමරන මේ මොහොතේ ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රිය සේවය ශ්‍රි ලංකාව අවට මුහුදු කලාපය තුළ වඩාත් ආරක්ෂාකාරී මුහුදු ගමන් මාර්ග පවත්වා ගෙන යෑම වෙනුවෙන් තවදුරටත් කැප වෙමින් සිටියි.