සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසය (CARAT–21) ත්‍රිකුණාමලයේදී ආරම්භවේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ පවත්වනු ලබන බහුපාර්ශවීය නාවික අභ්‍යාසයේ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) සමාරම්භක අවස්ථාව ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ දී මාර්ගගත ක්‍රමවේදයට අනුව (Virtual) අද (2021 ජුනි 24) පැවැත්වුණු අතර, මෙම නාවික අභ්‍යාසයේ සැළසුම්ගත අධියරයන් 2021 ජුනි 30 වන දින දක්වා ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී පවැත්වීමට නියමිතය.

මෙම නාවික අභ්‍යාසයේදී සමුද්‍රීය මැදිහත්වීම් සහ අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම, පොදු සමුද්‍රීය අභියෝග සඳහා සම්බන්ධීකරණය වීම, සමුද්‍රීය මෙහෙයුම් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම, සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය සඳහා අන්‍යෝන්‍ය හැකියාවන් වැඩිදියුණු කිරීම, ජාත්‍යන්තර නීති සම්මතයන් සහ ප්‍රමිතීන්ට අනුකූලව මෙහෙයුම් සිදුකිරීම, සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියාකරනු ලබන පාර්ශවයන් සහ නීති බලාත්මක කරන අධිකාරීන් අතර සබඳතාවය වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සකස් කිරීම මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය (JMSDF) යන පාර්ශවකරුවන් අතර හවුල්කාරීත්වය වර්ධනය කිරීම ද අරමුණු කෙරේ.

මෙම බහුපාර්ශවීය නාවික අභ්‍යාසයේ වරාය අදියර (Harbour Phase) මාර්ගගත ක්‍රමවේදයට අනුව (Virtual) 2021 ජුනි මස 24 සහ 25 දිනයන්හී ත්‍රිකුණාමලය වරායේදීත්, එහි මුහුදු අධියර (Sea Phase) 2021 ජුනි 26 සිට 30 දක්වා ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු තීරයේදීත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, මෙම නාවික අභ්‍යාසයේ සමාප්තිය 2021 ජුනි 30 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ දී මාර්ගගත ක්‍රමවේදයට අනුව (Virtual) සිදු කිරීමට නියමිතව ඇත.

ඒ අනුව, අද දින පැවති සමාරම්භක උත්සවයේදී අදහස් දැක්වූ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, මෙම බහුපාර්ශවීය නාවික අභ්‍යාසය සඳහා සහභාගී වන සියළුම පාර්ශවකරුවන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා රජයේ ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පිළිගැනීමට කටයුතු කරන ලදි. තවද, මෙවැනි නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම තුළින් සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන බවත්, කලාපීය හා කලාපීය නොවන සියළුම පාර්ශවකරුවන් හා එක්ව සුරක්‍ෂිත සාගර කලාපයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වෘත්තීය නිපුණතාවය ලබා ගැනීම රජය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් අපේක්‍ෂා කරන බවත් මෙම සමාරම්භක අවස්ථාව අමතමින් ඔහු වැඩිදුරටත් අදහස් දක්වන ලදී.

මෙම පුහුණු අභ්‍යාසය තුළදී මානුෂීය ආධාර සහ ආපදා සහන සැළසීම (HADR), සමුද්‍රීය වපසරිය පිළිබඳ අවබෝධය (MDA), සාගරික ගුවන් මෙහෙයුම් (Maritime Aviation), නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව (RAS), සතුරු යාත්‍රා ලුහුබැඳීම (TRACKEX), නෞකා වෙත ප්‍රවේශ වීම ඇතුළුවීම සහ පරීක්‍ෂා කිරීම (VBSS) සහ සෙවීම් හා මුදවා ගැනීම් (SAREX) ඇතුළු නාවික අභ්‍යාස රැසක් කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට සැළසුම්කර ඇත.

මෙම බහුපාර්ශවීය නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රීලංනානෞ සයුරළ සහ ගජබාහු යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා සහභාගී වන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම අභ්‍යාසය සඳහා අවශ්‍ය ගුවන් සහය බෙල් 212, බෙල් 412 හෙලිකොප්ටර් යානා සහ B - 200 වර්ගයේ නිරීක්‍ෂණ ගුවන්යානා මඟින් ලබා දෙනු ලබයි. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව නියෝජනය කරමින් Littoral Combat Ship වර්ගයට අයත් USS Charleston (LCS – 18) නෞකාව, Boeing P-8A Poseidon වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවක් සහ MH – 60S වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ද, ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය (JMSDF) නියෝජනය කරමින් Destroyer වර්ගයට අයත් JMSDF Yuugiri නොකාව සහ SH - 60J වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මෙම අභ්‍යාසය සඳහා එක්ව සිටී.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, ධජ නිලධාරී නාවික දියත් විධානය රියර් අද්මිරාල් සජිත් ගමගේ, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ජානක නිශ්ශංක, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු නිශාන්ත පීරිස්, ශ්‍රීලංනානෞ සයුරළ නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් සංජීව පෙරේරා, ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නාවික උපදේශක ලුතිනන් කොමණ්ඩර් රිචඩ් ලිස්ටර් හා ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.

තවද, මෙවැනි බහුපාර්ශවීය සාගරික අභ්‍යාස සඳහා සහභාගී වීම මඟින් දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන සියළු සාගරික මෙහෙයුම් සඳහා අවශ්‍ය නව දැනුම, ක්‍රමෝපායන් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙන්ම, නව අභියෝග හඳුනා ගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසඳුම් සෙවීමට අවස්ථාව උදාවනු ඇත. එමඟින් දිවයින වටා සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා මෙන්ම මෙරට සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කළාපය තුළ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට අවශ්‍ය සහන සැළසීම සඳහා නාවික හමුදාව සතු සම්පත් කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස යෙදවීමට හැකියාව ලැබෙනු ඇත.