සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසයේ (CARAT–21) මුහුදු අදියර ආරම්භ වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ පවත්වනු ලබන බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසයේ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) මුහුදු අදියර ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි 26 වන දින ආරම්භ විය.

මෙම අභ්‍යාසයේ 2021 ජුනි මස 26 සහ 27 දෙදින පැවති මුහුදු අදියර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රීලංනානෞ සයුරළ සහ ගජබාහු යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212, බෙල් 412 හෙලිකොප්ටර් යානා දෙකක් ද ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව නියෝජනය කරමින් Littoral Combat Ship වර්ගයට අයත් USS Charleston (LCS – 18) නෞකාව සහ එම නෞකාවට අයත් MH – 60S වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් සහභාගී විය. තවද, ‍සමුද්‍රීය ආවේක්‍ෂණ අභ්‍යාස සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ Boeing P-8A Poseidon වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාව 2021 ජුනි මස 26 වන දින එක් වන ලදී.

මෙහිදී, 2021 ජුනි මස 26 වන දින උපායික නෞකා පෙළ හැඩ අභ්‍යාස (Divisional Tactics - DIVTACs) සහ රාත්‍රි නෞකා පෙළ පවත්වා ගැනීමේ අභ්‍යාස (Night Steaming) යන නාවික අභ්‍යාස සිදු කෙරුණු අතර, ජුනි මස 27 වන දින නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා නෞකා සූදානම් වීම (Replenishment at Sea - RAS), නෞකා මතට ගුවනින් භාණ්ඩ ගොඩබෑම (Vertical Replenishment - VERTREP), නෞකා අතර හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ අභ්‍යාස (Deck Landing Qualifications - DLQs) සිදු කරන ලදී.

ඒ අනුව, 2021 ජුනි මස 27 වන දින ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාව මතට ගුවනින් භාණ්ඩ ගොඩබෑමේ අභ්‍යාසය (VERTREP) සඳහා USS Charleston (LCS – 18) නෞකාවට අයත් MH – 60S වර්ගයේ හෙලිකොප්ටර් යානාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Bell 212 හෙලිකොප්ටර් යානාව සහභාගී වන ලදී. නෞකා අතර හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ අභ්‍යාසය (DLQs) සඳහා එක්වූ USS Charleston (LCS – 18) නෞකාවට අයත් හෙලිකොප්ටර් යානාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 හෙලිකොප්ටර් යානාව ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව මතට ගොඩබෑම සිදු කරන ලදී.

2021 ජුනි 28 සහ 29 දිනයන්හි පැවැත්වෙන සතුරු යාත්‍රා ලුහුබැඳීමේ අභ්‍යාසයන් (Tracking Exercise - TRACKEX) සඳහා ශ්‍රීලංනානෞ සයුරළ සහ ගජබාහු යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ B - 200 වර්ගයේ නිරීක්‍ෂණ ගුවන්යානාවක් මෙන්ම ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ USS Charleston (LCS – 18) නෞකාව සහ Boeing P-8A Poseidon වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාව සහභාගී වන අතර, මෙම මුහුදු අදියරේ ඉදිරි අභ්‍යාස සඳහා ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) Destroyer වර්ගයට අයත් JMSDF Yuugiri නොකාව සහ එම නෞකාවට අයත් SH - 60J වර්ගයේ හෙලිකොප්ටර් යානාවද එක්වීමට නියමිතව ඇත.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ජුනි මස 30 වන දින දක්වා පවත්වනු ලබන මෙම බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් සදහා අවශ්‍ය නව දැනුම, ක්‍රමෝපායන් සහ අත්දැකීම් රැසක් හුවමාරු කර ගැනීමට මහඟු අවස්ථාවක් උදාවනු ඇත.