බස්නාහිර පළාත තුල කොවිඩ් 19 එන්නත්කරණය වේගවත් කිරීමට නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා රෝහල් මඟින් සිදු කෙරෙන බස්නාහිර පළාතේ වෙසෙන ජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 ජූලි 05) දින සිට කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සිදු කරනු ලබයි.

ඒ අනුව රජයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා සහය වෙමින් නාවික හමුදා මූලස්ථාන රෝහල මගින් කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර නාවික මහරෝහල මඟින් රාගම, ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී වයස අවුරුදු 30 ට වැඩි බස්නාහිර පළාත තුළ පදිංචි පුද්ගලයින් සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නතෙහි පළමු මාත්‍රාව මෙන්ම පළමු මාත්‍රාව ලබා ගත් ජනතාව වෙත එහි දෙවන මාත්‍රාව ලබා දීම ද සිදු කෙරේ.

අද දින (2021 ජූලි 05) සිට ඉදිරියට උදෑසන 08.30 පැයේ සිට සවස 04.30 පැය දක්වා කාලසීමාව තුළ මෙම එන්නත්කරණ වැඩසටහන පැවැත්වෙන අතර, බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 30ට වැඩි රජයේ සහ පෞද්ගලික අංශයන්හි සේවකයින් ඇතුළු මහජනතාව වෙත මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ “සයිනොෆාම්” (Sinopharm) එන්නත් ලබා ගැනීමේ හැකියාව ඇත.

තවද, කොව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වෙන මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා ජනතාව ඉතා උනන්දුවෙන් සහභාගී වී සිටින ලද අතර, මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා ඉදිරියටත් අවශ්‍ය සහය ලබාදීමට නාවික හමුදාව සූදානමින් සිටී.