විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව අවසන් කළ නාවිකයින් හට නාවික හමුදාධිපති ලාංඡන පළඳවයි

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 28 වන බඳවා ගැනීමට අයත් නාවිකයින් 43 දෙනෙකු හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2021 ජූලි 07) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම ලාංඡන පැළඳවීමේ අවස්ථාව, විශේෂ යාත්‍රා බලඝණයේ හැකියාවන් සහ දක්ෂතාවයන් විදහා දැක්වෙන ආකර්ශනීය සංදර්ශනයකින් ද සමන්විත විය. අති දුෂ්කර වූ විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සඳහා ස්ව කැමැත්තෙන් අනුයුක්ත වූ නාවික පුද්ගලයින් 81 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකින් ආරම්භ කළ 28 වන බඳවා ගැනීමේ පුහුණු පාථමාළාව සාර්ථකව අවසන් කිරීමට සමත් වූ නාවිකයින් 43 ‍දෙනෙකු වෙත අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳවීමෙන් පසුව නාවික හමුදාධිපති විසින් මෙම පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්‍රදානය කෙරිණි. එහිදී අතිශූර සාමාජිකයා සහ දක්‍ෂතම ක්‍රීඩකයා වශයෙන් සාමාන්‍ය නැවි එන්පී වික්‍රමසිංහ ද, සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් සාමාජිකයා ලෙස සාමාන්‍ය නැවි අයිපීඑම්ආර් පියතිස්ස ද, දක්ෂතම වෙඩික්කරු සහ දක්ෂතම පිහිණුම්කරු ලෙස සානැවි ආර්එම්එස්සී රාජකරුණා ද, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සාමාජිකයා වශයෙන් සාමාන්‍ය නැවි පීකේඑස්ආර්පී කුමාර ද නාවික හමුදාධිපති වෙතින් කුසලාන හිමිකර ගන්නා ලදි.

1990 දශකය ආරම්භයේදී උතුරේ කළපු ආශිත නොගැඹුරු මුහුදු තීරයේ සහ ඒ ආශ්‍රිත ගොඩබිම් කළාපයේ එල්ටීටීඊ ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දිය ගොඩ එකලෙස මෙහෙයුම් සිදු කළ හැකි විශේෂීත සන්නද්ධ ඒකකයක් ස්ථාපිත කිරීමේ අරමුණින් 1993 වර්ෂයේදී නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය ස්තාපිත කරන ලදී. එනැන්සිට, දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කරන තෙක් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සුවිශේෂී ක්‍රියාත්විත සිදු කරමින් නාවික හමුදා පෙරපෙළ ප්‍රහාරක බලඝණයන් වෙත විශාල දායක්වයක් දක්වන ලදී.

මෙම උත්සව අවස්ථාවේදී පුහුණුව අවසන් කළ නාවික පුද්ගලයින් ඇමතූ නාවික හමුදාධිපතිතුමන්, නාවික හමුදාවේ පෙර පෙළ වේග ප්‍රහාරක බලඝණයන්ට ශක්තියක් වෙමින් දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති එල්ටීටීඊ ත්‍රස්ත්‍රවාදය මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කර දේශයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් විශේෂ යාත්‍රා බලඝණය දැක්වූ දායකත්වය මෙන්ම එහිදී මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ සහ සටනේදී ආබාධිත තත්වයට පත් වූ විශේෂ යාත්‍රා බලඝණයේ නිලධාරින් සහ නාවිකයින් සියළුදෙනා ගෞරව බහුමානයෙන් යුක්තව සිහිපත් කර සිටින ලදී. තවද, විශේෂ යාත්‍රා බලඝණයට ආවේණික උසස් වෘත්තීය නිපුණත්වය තවදුරටත් ඔපමට්ටම් කර ගනිමින් මනා විනය හා පැවැත්මෙන් යුතුව නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරිම සදහා අධිෂ්ඨානශිලීව කැපවීම, අද දින ලාංඡන පැළදි 28 වන බඳවා ගැනීමට අයත් නාවිකයින්ගෙන් නාවික හමුදාව අපේක්‍ෂා කරන බව නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින ලදී. තවද, රට වෙනුවෙන් සේවය කිරීම සඳහා තම දරුවන් නාවික හමුදාවට භාරදුන් අද දින විශේෂ යාත්‍රා බලඝන ලාංඡනය පැළඳි නාවිකයින්ගේ දෙමාපියන් වෙත සිය හදපිරි කෘතඥතාවය පලකිරීමටද මෙහිදී නාවික හමුදාධිපති විසින් කටයුතු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන, නාවික දියත් විධානයේ ධජ නිලධාරී රියර් අද්මිරාල් ලසන්ත ගමගේ, විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරි කපිතාන් නිස්සංක වික්‍රමසිංහ අතුළු නාවික හමුදා මුලස්ථානය, නැගෙනහිර නාවික විධානය සහ විශේෂ යාත්‍රා බලඝණය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.