නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ඉදිකරන ලද විශේෂ පුහුණු ආකෘතිය විවෘත කෙරේ

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද මෙරට ප්‍රථම ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ සමුද්‍රීය පුහුණු ආකෘතිය (Ship-In-a-Box - SIAB) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් 2021 ජූලි මස 07 වන දින ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී විවෘත කෙරිණි.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (United Nations Office on Drugs & Crime - UNODC) රුපියල් මිලියන 25ක මූල්‍යමය ප්‍රථිපාදන මත නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් 2019 වර්ෂයේ නොවැම්බර් මස 30 වන දින ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන (Global Maritime Crime Programme - GMCP) යටතේ මෙම ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ සමුද්‍රීය පුහුණු ආකෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරිණි. මෙම පුහුණු ආකෘතිය ස්ථාපිත කිරීම මඟින්, දේශීය හා ‍විදේශීය සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ ආයතන වෙනුවෙන් ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ පවත්වනු ලබන නෞකා වෙත ප්‍රවිශ්ඨ වීම පරීක්‍ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයන් හා සම්බන්ධ පුහුණු පාඨමාලාවන් (Visit Board Search & Seize – VBSS) තවත් ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම සමුද්‍රීය පුහුණු ආකෘතිය විවෘත කිරීමේ අවස්ථාවෙන් පසුව එහි පුහුණු අභ්‍යාසයක් ද පැවැත්වූ අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී ඇලන් කෝල් මහතා (Alan Cole), අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන, නාවික දියත් විධානයේ ධජ නිලධාරී රියර් අද්මිරාල් ලසන්ත ගමගේ, විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරි කපිතාන් නිස්සංක වික්‍රමසිංහ, ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ව්‍යාපෘති තාක්‍ෂණික විශේෂඥ ගෙරේන්ට් රොබට්ස් මහතා (Geraint Roberts) අතුළු නාවික හමුදා මුලස්ථානය, නැගෙනහිර නාවික විධානය සහ විශේෂ යාත්‍රා බලඝණය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.