නාවික හමුදා දායකත්වයෙන් අළුත්වැඩියා කළ කන්තලේ පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි සිසු අයිතියට

නාවික හමුදා මූල්‍යමය සහ ශ්‍රම දායකත්වයෙන් අළුත්වැඩියා කරන ලද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශයේ පිහිටි පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ පන්තිකාමර ගොඩනැගිල්ල, පුස්තකාල ගොඩනැගිල්ල සහ රැස්වීම් ශාලාව සිසු අයිතියට පත් කිරීම 2021 ජූලි 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව දිවයිනේ අඩු පහසුකම් සහිත තෝරාගත් පාසල් සංවර්ධනය කර දේශයේ ජීවනාලිය වූ දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දිනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් සෑම නාවික විධානයක් තුළම පහසුකම් අඩු පාසල් සංවර්ධනය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය නාවික හමුදාධිපතිගේ සංකල්පයක් මත 2021 අප්‍රේල් මස 19 වන දින ආරම්භ කෙරිණි.

එම ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර නාවික විධානය විසින් කන්තලේ ප්‍රදේශයේ පිහිටි පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ අඩක් නිම කළ පංති කාමර ගොඩනැගිල්ල සහ පුස්තකාල ගොඩනැගිල්ල මෙන්ම අභිනවයෙන් ඉදිකළ රැස්වීම් ශාලාව නාවික හමුදා දායකත්වයෙන් කඩිනමින් වැඩ අවසන් කර අද (2021 ජූලි 08) මෙලෙස ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ සිසු අයිතියට පත් කිරීම සිදු කෙරිණි. තවද, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් විද්‍යාලයේ සිසු දරුවන් පිරිසක් වෙනුවෙන් පාසල් උපකරණ කට්ටල බෙදා දීමක් ද මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ කන්තලේ කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඊජීපීඅයි ධර්මතිලක මහතා, වෙනත් බාහිර පාර්ශවයන් විසින් පාසල් සංවර්ධන කටයුතු සිදු කිරීමේදී දක්නට නොලැබෙන සුවිශේෂී පිලිවෙළක් සහ ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව නාවික හමුදාව විසින් සංවර්ධන කටයුතු සිදු කිරීම පිළිබඳ විශේෂයෙන් ඇගයීමට ලක් කර සිටින ලදී. එමෙන්ම විද්‍යාලයේ සිදුකළ අළුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් එම විද්‍යාලයේ සිසු දරුවන් මෙන්ම විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය විසින් ද නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත ප්‍රශංසාව පුද කිරීමට මෙහිදී කටයුතු කෙරිණි.

මෙම සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ පහසුකම් අඩු තවත් පාසල් ගණනාවක් සංවර්ධනය කෙරෙමින් පවතින අතර, නාවික හමුදාවේ සියළුම නාවික පුද්ගලයින් ස්ව කැමැත්තෙන් සිය මාසික වේතනයෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබා දෙන ලද අතර, නාවික හමුදාවේ තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ඉතා කඩිනමින් මෙම ව්‍යාපෘතිය අවසන් කර සිසු අයිතියට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති කන්තලේ, පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ පත්ති කාමර ගොඩනැගිල්ල, පුස්තකාල ගොඩනැගිල්ල සහ අභිනව රැස්වීම් ශාලාව සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, නාවික හමුදාධිපතිගේ නාවික සහායක සහ නාවික හමුදා පාසල් සංවර්ධන ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ නිලධාරී කොමදෝරු සුජීව සෙනවිරත්න, එම විද්‍යාලයේ විදුහල්පති ආර්ආර්එම්එන් රාජපක්‍ෂ මහතා, ගුරු භවතුන් සහ සිසු දරුවන් සීමිත පිරිසක් මෙන්ම නාවික හමුදා මුලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සීමිත පිරිසක් ද සහභාගී වී සිටියහ.