ඔලිම්පික් වරම් හිමිකරගත් නාවික හමුදා ක්‍රීඩිකාවට නාවික හමුදාධිපතිගෙන් උසස්වීමක්

කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්ම රටට සුවිශාල කීර්තියක් ගෙනදුන් නාවික හමුදා සේවයෙහි නියුතු නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල ක්‍රීඩිකාව දිරිගැන්වීම සඳහා ඇය සුළු නිලධාරී තරාතිරම දක්වා උසස් කර ඇයට රු.250,000.00ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් අද (2021 ජූලි 16) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

වසර ගණනාවක් ඉතාමත් කැපවීමෙන් සහ ධෛර්යෙන් යුක්තව අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදර්ශයක් වෙමින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් රට වෙනුවෙන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීම දක්වා පැමිණි කාන්තා සුළු නිලධාරී ටෙහානි එගොඩවෙල ක්‍රීඩිකාවගේ කැපවීම සහ හැකියාව නාවික හමුදාධිපති මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක් කරන ලදී. එමෙන්ම නාවික හමුදාවේ මෙන්ම දේශයේ අභිමානය තවදුරටත් ඉහළ නංවමින් රට වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් ගෙන ඒමට අවශ්‍ය ශක්තිය ධෛර්ය හා වාසනාව හිමිවේවායි නාවික හමුදාධිපති විසින් සුළු නිලධාරී ටෙහානි එගොඩවෙල ක්‍රීඩිකාව වෙත සුභාසිංෂන පිරිනමා ඇය දිරිමත් කිරීම වෙනුවෙන් රුපියල් 250,000.00 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම මෙලෙස අද දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙ‍රිණි. තවද, මෙම හමුව කොවිඩි 19 ව්‍යාප්තිය වැළැක්වීම උදෙසා ඔලිමිපික් උළෙලට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ ජෛව ආරක්‍ෂක බුබුල සංකල්පයට අනුකූලවන පරිදි සංවිධානය කිරීමට කටයුතු කරන ලදී.

2006 වර්ෂයේදී නාවික හමුදාවට බැඳුණු ටෙහානි එගොඩවෙල, 2011 වසරේ සිට නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය නියෝජනය කරන අතර, 2012 වසරේ සිට ජාතික වෙඩි තැබීමේ සංචිතය නියෝජනය කරමින් හත් වතාවක් (07) ශ්‍රී ලංකාවේ හොඳම වෙඩික්කාරිය ලෙස තෙරී පත් වීමට සමත් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් තරගාවලි රැසකට සහභාගි වී විශිෂ්ට දක්‍ෂතා පෙන්නුම් කළ ඇය 2018 වසරේ සිට කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට මෙන්ම 2019 වසරේ සිට කාන්තා තුන් ඉරියව් මීටර් 50 රයිෆල් 0.22 ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියයි.

2016 වර්ෂයේ ඉන්දියාවේදී සහ 2019 වර්ෂයේ නේපාලයේ දී පැවති දකුණු ආසියාතික ක්‍රීඩා තරඟාවලි තුළදී කාන්තා මිටර් 50 රයිෆල් 0.22 කණ්ඩායම් ඉසව්වෙන් ලෝකඩ පදක්කම් මෙන්ම 2019 කටාර් හි පැවැත් වු කාන්තා මිටර් 50 රයිෆල් 0.22 ඉසව්වේ ශ්‍රි ලංකා වාර්තාවද ඇය හිමි කර ගැනීමට සමත් විය. ඇයගේ විශිෂ්ට දක්‍ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇයට හැකියාව ලැබිණි.

ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වීමට ජපානය බලා පිටත්ව යාමට නියමිත ටෙහානි එගොඩවෙල ක්‍රීඩිකාව හට නාවික හමුදාවට සහ රටට ගෞරවයක් ගෙන දෙමින් කාන්තා රයිෆල් ඉසව්වෙන් විශිෂ්ඨ දක්‍ෂතා පෙන්නුම් කර මාතෘ භූමියට ඔලිම්පික් පදක්කමක් ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇතැයි ලෝකවාසී සියළුම ශ්‍රීලාංකිකයන් ඉත සිතින් ප්‍රාර්ථනා කරයි.