ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කිමිදුම් වාර්තාවක්

දියයට කිමිදී එහි අසිරිය විඳීම අපූරු විනෝදජනක අත්දැකීමක් ගෙන දෙන්නක් වුවත්, කිමිදීම අවදානම් සහිත කටයුත්තකි. මෙම අවදානමට අභියෝග කරමින් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ අලියා දුපත අසල ගැඹුරු මුහුදේ මීටර් 100ක් කිමිදී වාර්තාවක් පිහිටුවීමට 2021 ජුලි 17 වන දින විධාන කිමිදුම් නිලධාරි(නැගෙනහිර නාවික විධානය) කොමාණ්ඩර් නිශාන්ත බාලසුරිය සහ ඔහුගේ සහයක කිමිදුම් කරුලෙස කටයුතු කල බල නැවි (කිමිදුම්) ඩබ්ඩබ්එන්පි සඳරුවන් යන නාවික පුද්ගලයින් කටයුතු කිරීම, නාවික ඉතිහාසයේ එවන් ගැඹුරකට කිමිදුනු ප්‍රථම පුද්ගලයින් ලෙස ඉතිහාස ගත වීමෙන් නාවික හමුදාවට විශාල කිර්තියක් ගෙන දෙන්නට සමත් විය.

මෙම අසීරු කිමිදුම් වාර්තාවට ලඟා වීම අහම්බෙන් සිදු වූවක් නොව මාස ගණනාවක් සිදු කළ ශාරීරික හා මානසික වෙහෙස කර පෙර පුහුණුවීම් ගණනාවක අවසන් ප්‍රථිපලයයි. ක්‍රමක් ක්‍රමයෙන් කිමිදීමේ ගැඹුර වැඩි කරමින් පසු ගිය මාර්තු 15 වන දින මීටර් 73ක් (අඩි 242) ගැඹුරට පුහුණු කිමිදුම් අභ්‍යාසයක් සිදුකිරීමට සමත් වූ මෙම කිමිදුම් යුගලය, පසුගිය ජුලි 13 වන දින මිටර් 75 (246) ගැඹුරට තවත් කිමිදුම් අභ්‍යාසයක්‌ සිදුකිරීමට සමත් විය.

2021 ජුලි 17 වන දින මිටර් 100ක් ගැඹුරට කිමිදීමේ අභියෝගය ජය ගැනීම සඳහා කොමාණ්ඩර් බාලසුරිය ඔක්සිජන්, හීලියම් සහ නයිට්‍රජන් යන වායූන් තුනම මිශ්‍ර කර දිය යටදී ලබා ගැනීමේ පහසුකම් සහිත කිමිදුම් උපාංග කට්ටල සුදානම් කර ගනිමින් කිමිදීම සඳහා සූදානම් විය.

ඒ අනුව, කොමාණ්ඩර් නිශාන්ත බාලසුරිය සහ සහයක කිමිදුම් නාවිකයා කිමිදීම ආරම්භ කල අලියා දුපත අසල මුහුදේ මිටර් 40ක් දක්වා කිමිදීම සහයක කිමිදුම් කණ්ඩායමක සහය යටතේ සිදු කරන ලද අතර, එතැන් සිට ක්‍රමයෙන් ඔක්සිජන්, හීලියම් සහ නයිට්‍රජන් යන වායු සම්මිශ්‍රණයෙන් ඔවුන් මීටර් 100ක ගැඹුර තරණය කර අසීරු ඉලක්කය වෙත ලඟාවී නාවික හමුදා කිමිදුම් අංශයේ නව පිටුවක් පෙරළීමට සමත් විය. මෙහිදී කිමිදුම් ගැඹුර ගණනය සඳහා අසම්පීඩිත වගු (Decompression Charts) උපයෝගී කරගන්නා ලදී.

නාවික හමුදා කිමිදුම් මෙහෙයුම් සිදු කිරිමේ දී සංවෘත පරිපථ ස්වයං අන්තර්ගත ශ්වසන උපකරන(close circuit SCUBA diving aperatures) ආධාරයෙන් 100% ඔක්සිජන් වායුව කිමිදුම් කරුවන් විසින් භාවිතා කරයි. විවෘත පරිපථ ස්වයං අන්තර්ගත ශ්වසන උපකරන (Open circuit scuba diving) මගින් කිමිදුම් කටයුතු සිදු කිරීමේදී සාමාන්‍ය සම්පීඩිත වාතය (normal compressed air) භාවිතා කරයි. කෙසේ වෙතත් සම්පුර්ණයෙන්ම ඔක්සිජන් වායුව භාවිතා කරමින් (100% O2) කිමිදුම් කටයුතු සිදු කිරිමේ දි උපරිම කිමිදීමේ ගැඹුර මීටර් 18 කට සීමාවේ.

සාමාන්‍ය සම්පීඩිත වාතය භාවිතා කරමින් කිමිදීමේ දී උපරිම වශයෙන් මීටර් 55 දක්වා කිමිදීමේ හැකියාව පවතින අතර, මෙම දුර ප්‍රමාණය කිමිදීමේ දී නයිට්‍රජන් මාදකත්වය (Nitrogen Narcosis) සහ ඔක්සිජන් විසවිම (Oxygen Toxicity) යන රෝගී තත්ත්වයන් වැළඳීමේ අවදානමක් ඇත. 1964 සිට මේ දක්වා නාවික හමුදා කිමිදුම් කරුවන් මිටර් 55ක සීමාව තුල කිමිදුම් කටයුතු සිදු කර ඇති අතර, එම සීමාවට ඔබ්බට සිදුකළ මෙම වාර්තාගත කිමිදුම් අභ්‍යාසය, නාවික හමුදා කිමිදුම් අංශය මෙන්ම නාවික හමුදාව ලද සුවිශාල ජයග්‍රහණයකි.

මෙහි විශේෂත්වය වන්නේ මෙම කිමිදුම් යුගලය ඉතාමත් අවදානම් සහගත මිටර් 100ක් කිමිදීමේ අභියෝගය ජය ගැනීම සඳහා සිය කැමැත්තෙන්ම යොමු වීමයි. තම වෘත්තිය සීමාවෙන් ඔබ්බට යමින් ස්වකීය වෘත්තීය දැනුම සහ නිපුණත්වය මනාවට පිළිඹිබු කරමින් සිදු කළ මෙම වාර්තා ගත කිමිදුම් ජයග්‍රහණය, කිමිදුම් අංශයේ අ‍නෙකුත් නාවික පුද්ගලයන්ට පමණක් නොව සමස්ථ නාවික හමුදාවට ඉතාමක් හොඳ ආදර්ශයක් ගෙන දී තිබේ. තම වෘත්තීය සීමාව තුල පමණක් කටයුතු නොකර අභියෝග මතින් ගොඩනැගීමට අප්‍රතිහත ධෛර්‍ය්‍ය, නොපසුබට උත්සාහය සහ කැපවීම තුලින් කටයුතු කිරීම නාවික හමුදාවට සුවිශාල කීර්තියක් අත්පත් කර දෙන්නට සමත් විය.

මීටර් 100ක් ගැඹුරු මුහුදේ කිමිදී තම හැකියාවන් ලොවට ගෙනහැර පෑම සඳහා මෙම කිමිදුම් කරුවන් මාස ගණනාවක් ශාරීරිකව සහ මානසිකව අඛන්ඩ පුහුණුවීම් ඉතා කැපවිමෙන් යුතුව සිදුකළ අයුරින්ම, ඉදිරියේ තව දුරටත් කැපවීමෙන් පුහුණු වී ඔවුන්ගේම වාර්තාව අලුත් කර මීට වඩා වැඩි ගැඹුරකට කිමිදි නාවික හමුදාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන දිනය නුදුරේදීම උදාවනු ඇතැයි සැමගේ අපේක්ෂාවයි.