නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුළම සිංහල විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට

නාවික හමුදා දායකත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුළම සිංහල විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද පන්තිකාමර ගොඩනැගිල්ල, විද්‍යාගාර ගොඩනැගිල්ල සහ අළුත්වැඩියා කරන ලද පරිඝණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම අද (2021 අගෝස්තු 08) දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව සෑම නාවික විධානයක් තුළම අඩු පහසුකම් සහිත පාසල් සංවර්ධනය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ වයඹ නාවික විධානය තුළ පහසුකම් සංවර්ධනය කිරීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුළම සිංහල විද්‍යාලය තෝරා ගන්නා ලදී. ඒ අනුව, එම පාසල තුළ මෙතෙක් පැවති අඩු පහසුකම් සහිත පංති කාමර වෙනුවට නව පන්ති කාමර 03ක් සහිත ගොඩනැඟිල්ලක් ඉදිකිරීම මෙන්ම එම පාසලේ දරුවන් සඳහා අත්‍යාවශ්‍යව පැවති විද්‍යාගාර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සහ පරිඝණක විද්‍යාගාරය අළුත්වැඩියා කිරීමේ කටයුතු 2021 අප්‍රේල් මස 19 වන දින නාවික හමුදාව විසින් ආරම්භ කරන ලදී.

ඒ අනුව, නාවික හමුදා පුද්ගලයන් සිය මාසික වේතනයෙන් ස්ව කැමැත්තෙන් පරිත්‍යාග කරන ලද මූල්‍ය දායකත්වයෙන් සහ වයඹ නාවික විධානයේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන්, කඩිනමින් වැඩ අවසන් කරන ලද එළුවන්කුලම සිංහල විද්‍යාලයේ ඉදිකරන ලද නව පංති කාමර ගොඩනැගිල්ල, විද්‍යාගාර ගොඩනැගිල්ල සහ අළුත්වැඩියා කළ පරිඝණක විද්‍යාගාරය මෙන්ම අළුත්වැඩියා කර තීන්ත ආලේප කරන ලද අනෙකුත් පන්ති කාමර ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද දින (2021 අගෝස්තු 08) සිදු කෙරිණි. තවද, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් මෙම විද්‍යාලයේ සිසු දරුවන් පිරිසක් වෙත පාසල් උපකරණ කට්ටල ලබා දීමක්ද මෙහිදී සිදු කෙරිණි.

එළුවන්කුලම සිංහල විද්‍යාලයේ පහසුකම් සංවර්ධනය කර එම විද්‍යාලයේ දරුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු සඳහා වඩා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාවික හමුදාව සිදු කළ දායකත්වය අගයමින් එම විද්‍යාලයේ සිසු දරුවන්, දෙමාපියන්, විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලය විසින් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත ප්‍රශංසාව පුද කිරීමට ද මෙහිදී කටයුතු කෙරිණි.

එමෙන්ම, නාවික හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් පහසුකම් අඩු පාසල් සංවර්ධනය කිරීමේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර සහ උතුරු නාවික විධානයන් මඟින් සංවර්ධනය කරන ලද පාසල් මේ වන විට සිසු අයිතියට පත් කර ඇති අතර, ඉදිරියේදී අනෙකුත් නාවික විධාන මඟින් සංවර්ධනය කෙරෙමින් පවතින අඩු පහසුකම් සහිත තවත් පාසල් ගණනාවක් සිසු අයිතියට පත් කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කෙරෙමින් පවතී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති එළුවන්කුළම සිංහල විද්‍යාලයේ සංවර්ධනය කරන ලද පහසුකම් සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කේජේ කුලරත්න, නාවික හමුදාධිපතිගේ නාවික සහායක සහ නාවික හමුදා පාසල් සංවර්ධන ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ නිලධාරී රියර් අද්මිරාල් සුජීව සෙනවිරත්න, එම විද්‍යාලයේ විදුහල්පතිනී ආර්ඒ රේණුකා මහත්මිය ඇතුළු ගුරු භවතුන් සහ සිසු දරුවන් සීමිත පිරිසක් මෙන්ම වයඹ නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සීමිත පිරිසක් ද සහභාගී වී සිටියහ.