කොවිඩ් 19 එන්නත්කරණය සඳහා තවදුරටත් නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව මඟින් සිදු කෙරෙන මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව අද දිනයේත් (2021 අගෝස්තු 10) කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී, වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී සහ උස්වැටකෙයියාව ශාන්ත මේරි විද්‍යාලයේදී නාවික හමුදා වෛද්‍ය කාර්යමණ්ඩලයක් මඟින් “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීම සිදු කරනු ලබයි.

රජයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා සහය වෙමින් 2021 අගෝස්තු 08 වන දින නාවික හමුදා මූලස්ථාන රෝහල මගින් කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී දෙවන වරටත් ආරම්භ කළ මෙම එන්නත් කරණ වැඩසටහන 2021අගෝස්තු මස 09 වන දින කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී මෙන්ම වැලිසර නාවික මහරෝහල මඟින් රාගම, ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලය සහ උස්වැටකෙයියාව ශාන්ත මේරි විද්‍යාලය යන ස්ථානයන් හි දීත් ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව පසුගිය දින දෙක තුළදී පමණක් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් 13822 ක් සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නතෙහි පළමු සහ දෙවන මාත්‍රාවන් ලබා දීම නාවික හමුදා එන්නත්කරණ වැඩසටහන මඟින් සිදු කරන ලදී . තවද, අද (2021 අගෝස්තු 10) දිනයේද, මෙම එන්නත් කරණ වැඩසටහන නාවික හමුදාව විසින් ඉහත ස්ථානයන්හිදී ක්‍රියාත්මක කරනු ලබයි.

කොව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වෙන මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා මහජනතාවගේ විශාල උනන්දුවක් දක්නට ලැබෙන අතර, හෙට දිනයේදී (2021 අගොස්තු 11) කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පමණක් නාවික හමුදාව විසින් මෙම එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.