නාවික හමුදාවට ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 26 දෙනෙක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් නිත්‍ය (තාක්‍ෂණික) හා ස්වේච්ඡා 1/2021 බඳවා ගැනීමට අයත් නිලධාරීන් 26 දෙනෙක් විසිරයාම අද (2021 අගෝස්තු 14) නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සංජීව ඩයස් ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පැවැත්විණි.

ඒ අනුව, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව අවසන් කළ නිත්‍ය (තාක්‍ෂණික) නිලධාරීන් පස් දෙනෙක් (05) සහ ස්වේච්ඡා නිලධාරීන් විසි එක් දෙනෙක් (21) අද දින මෙලෙස විසිර යන ලදී.

තවද, පුහුණු කාලසීමාව තුලදී සුවිශේෂි දක්‍ෂතා දැක්වූ විසිර යන නිලධාරීන් සඳහා විශේෂ කුසලාන ප්‍රදානයක් ද සිදු කෙරිණි. එහිදී, දක්‍ෂතම නිලධාරියා සහ දක්‍ෂතම වෙඩික්කරු ලෙස ලුතිනන් පීජීසීඑම් රත්නසිරි කුසලාන හිමිකරගන්නා ලද අතර, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය වැඩ බලන උප ලුතිනන් එම්ඒඑන්පී මුතුකුඩ විසින් හිමිකරගන්නා ලදි.

මෙහිදී අදහස් දැක්වූ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්, විසිර යන නිලධාරීන් කැපවීමෙන් යුතුව නාවික හා සාගරික විද්‍යාපීඨයේ මෙන්ම නාවික හමුදාවේ අපේක්‍ෂාවන්ද සපුරාලමින් සාර්ථකව පුහුණුව නිම කිරීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවත්, පුහුණු කාලසීමාව තුළදී ලබා ගන්නා ලද දැනුමට අමතරව පුහුණුවේදී වැඩි දියුණු කර ගන්නා ලද එඩිතරභාවය, විනය, නායකත්වය සහ දරාගැනීමේ හැකියාව වැනි ගුණාංග තුළින් විසිර යන නිලධාරීන්ගේ ඉදිරි නාවික ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් පවසන ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ඉහල වෘත්තීය නිපුණත්වයකින් කටයුතු කරනු ලබන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රතිරූපය ඉහල නැංවීම සඳහා ස්වකීය දායකත්වය නොපිරිහෙලා ලබා දිය යුතු බවත්, විශේෂයෙන් නාවික හමුදාවේ සහ රටේ අපේක්‍ෂිත අභිලාෂයන් ලඟාකර ගැනීම සඳහා වගකීම් දැරිය යුතු බවත් ප්‍රකාශ කරමින් විසිර යන නිලධාරීන් හට සුභ පැතුම් එක් කරන ලදී. එමෙන්ම, මවුබිම වෙනුවෙන් සේවය කිරීම සඳහා සිය දරුවන් නාවික හමුදාව වෙත බැඳීමට දිරිමත් කළ විසිර යන නිලධාරීන්ගේ සාඩම්බර දෙමව්පියන් වෙතද සිය කෘතඥතාවය පල කර සිටින ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම විසිරයාමේ අවස්ථාව, නාවික හා සාගරික විද්‍යාපීඨයේ සරඹ උපදේශක පාඨමාළාවට අයත් නාවික පුද්ගලයන්ගේ සරඹ සන්දර්ශනයකින් සහ එම විද්‍යාපීඨයේ තූර්යවාදක කණ්ඩායමේ සංදර්ශනයකින් විචිත්‍රවත් වූ අතර, මෙම අවස්ථාවට නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න, නාවික දියත් විධානයේ ධජ නිලධාරී රියර් අද්මිරාල්, සජිත් ගමගේ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.