නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය ප්‍රදේශයේ ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක්.

ශ්‍රි ලංකා නාවික හමුදාව, ශ්‍රි ලංකා හබල් ඔරු සංගමය සහ ලංකා ජීවිතාරක්‍ෂක සංගමය එක්ව යාපනය ප්‍රදේශයේ ජල ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින්, ප්‍රදේශයේ පාසැල් සහ ධීවර සමිති නියෝජනය කරනු ලබන උපදේශකයින් අට (08) දෙනෙකු සඳහා සති දෙකක කාලයක් ඩ්‍රැගන් බෝට්ටු පැදි ක්‍රීඩාව සහ මුහුදේදී ජීවිතාරක්‍ෂාව සම්බන්ධ වැඩමුළුවක් කරෛයිනගර් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී පවත්වන ලද අතර, එම පුහුණු වැඩසටහනෙහි සහතිකපත් ප්‍රධානය 2021 අගෝස්තු 14 දින උතුරු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මීරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සහ පළාත් අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා හා තරුණ කටයුතු ලේකම් එල් ඉල්ලන්ගොවන් මහතාගේ සහභාගීත්වයෙන් යාපනය කරෛයි නගර් හී පිහිටි පොර්ට් හැමන්හීල් හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මර්ගෝපදේශයන්ට අනුකූලව ජෛව ආරක්‍ෂක බුබුළු සංකල්පය යටතේ සති දෙකක කාලයක් පැවති මෙම ජල ක්‍රීඩා පුහුණු වැඩමුළුව උතුරු නාවික විධානයේ ආඥාපතිගේ මගපෙන්වීම සහ උපදෙස් මත ශ්‍රිලංනානෞ එළාර ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් අරුණ වීරසිංහගේ සම්බන්ධිකරණයෙන් සිදු කෙ‍රිණි. තවද, ඩ්‍රැගන් බෝට්ටු පැදි ක්‍රීඩාවේ නීති රීති සහ ශිල්පිය ක්‍රමවේද පිළිබඳ පුහුණුව නාවික හමුදා පැදි ඔරු සංචිතය මගින් ද, ජීවිතාරක්‍ෂක සංගමයේ අපේක්‍ෂිත මට්ටමට අනුකුලව ජීවිතාරක්‍ෂක පුහුණුව ලබා දීම නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය විසින්ද සිදු කරන ලදී.

යාපනය ප්‍රදේශයේ පාසැල් සහ ධීවර සමිති නියෝජනය කරමින් සහභාගි වු උපදේශකයින් මගින් ප්‍රදේශයේ පාසැල් සහ ධීවර සමිති මට්ටමෙන් ඩ්‍රැගන් බෝට්ටු පැදි කණ්ඩායම් ස්ථාපිත කර එමගින් උතුරු ප්‍රදේශයේ ජල ක්‍රීඩාව ප්‍රචලිත කිරීමත්, එම කණ්ඩායම් ජාතික මට්ටමේ ඩ්‍රැගන් බෝට්ටු තරඟාවලි නියෝජනය කිරීම දක්වා වර්ධනය කිරිමත් නාවික හමුදාව සහ ශ්‍රි ලංකා හබල් ඔරු සංගමය මෙම ව්‍යාපෘතිය මගින් අපේක්‍ෂා කෙරේ.