කල්පිටිය උච්චමුනෙයි නාවික අනුකණ්ඩයේ නව ජැටිය විවෘත කෙරේ

වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ විජය ආයතනය මඟින් පාලනය වන උච්චමුනෙයි නාවික අනුකණ්ඩයේ අභිනවයෙන් ඉදිකළ කුඩා ‍යාත්‍රා නැවැත්වීමේ ජැටිය අද (2021 අගෝස්තු 30) වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්නගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

කල්පිටිය කළපුව ඔස්සේ සිදුවන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා කුඩා යාත්‍රා මුර සංචාර සිදු කිරීමේදී මෙන්ම උච්චමුනෙයි නාවික අනුකණ්ඩය සඳහා අවශ්‍ය සැපයුම් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී ද එම අනුකණ්ඩය තුළ කුඩා යාත්‍රා නැවැත්වීමේ පහසුකම් නොමැති වීම එම කටයුතු කාර්යක්‍ෂමව සිදු කිරීමට බාධාවක්ව පැවතිණි. ඒ අනුව, නාවික හමුදා දායකත්වයෙන් කඩිනමින් ඉදිකිරීම් අවසන් කරන ලද අඩි 170ක් දිග මෙම නව ජැටිය මඟින් ‍කල්පිටිය කළපුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ආරක්‍ෂක මුර සංචාර සිදු කරනු ලබන කුඩා යාත්‍රා නැවැත්වීමේ පහසුකම් මෙන්ම උච්චමුනෙයි නාවික අනුකණ්ඩයේ සැපයුම් අවශ්‍යතා කාර්යක්‍ෂමව සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ප්‍රසාද් කාරියප්පෙරුම, ශ්‍රීලංනානෞ විජය ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් ලක්‍ෂිත රත්නතිලක ඇතුළු වයඹ නාවික විධානයට අයත් නිලධාරීන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.