නයනතිවු ප්‍රාද්ශීය රෝහලේ නවීකරණය කළ කාන්තා ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් නවීකරණය කරන ලද යාපනය, නයනතිවු ප්‍රාදේශීය රෝහලෙහි කාන්තා වාට්ටුව රෝගී ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා එම රෝහල වෙත භාරදීම 2021 සැප්තැම්බර් මස 02 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමක්ට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ උතුරු නාවික විධානයේ තාක්‍ෂණික හා ශ්‍රමදායකත්වයෙන් යාපනය, නයනතිවු දූපතේ පිහිටි නයනතිවු ප්‍රාදේශීය රෝහලෙහි කාන්තා වාට්ටුව ඉතා කෙටි කාලයක් තුල නවීකරණය කර එම රෝහල වෙත රෝගී ප්‍රතිකාර සඳහා නැවත භාරදීමට නාවික හමුදාව මෙලෙස කටයුතු කරන ලදී. ඒ අනුව, ඉදිරියේදී නයනතිවු දූපත්වාසී ජනතාව හට මෙමඟින් ප්‍රථිලාභ ලබා ගැනීමේ හැකියාව පවතී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම නවීකරණය කරන ලද වාට්ටුව රෝහල වෙත භාර දීමේ අවස්ථාව සඳහා නාගදීප පුරාණ රජමහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන්, යාපනය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක, නයනතිවු ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලය ඇතුළු නාවික හමුදා නිලධාරීන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.