සාර්ථකව අවසන් වූ ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාවේ 2021/2 (JCET) සහතිකපත් ප්‍රධානය ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2021/2 (Joint Combined Exchange Training (JCET) Balance Style 2021/2) සාර්ථකව අවසන් කරන ලද නාවික පුද්ගලයින් සඳහා සහතිකපත් ප්‍රදානය 2021 සැප්තැම්බර් 02 වන දින සිදු කරන ලදි.

2021 අගෝස්තු 04 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලද මෙම පාඨමාලාව සඳහා විශේෂ යාත්‍රා බලඝනයට අනුයුක්ත නාවික පුද්ගලයින් 24 දෙනෙක් සහ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමුහයට අනුයුක්ත නාවික පුද්ගලයින් 12 දෙනෙක් වශයෙන් නාවික පුද්ගලයින් 36 දෙනෙකු සහභාගී වූ අතර, එක්සත් ජනපද යුධ හමුදා විශේෂ බලකායේ ඇල්ෆා 1313 මෙහෙයුම් අනුකණ්ඩයට අයත් පුහුණුකරුවන් 09 දෙනෙක් මෙම පාඨමාළාවේ පුහුණුවීම් සිදු කිරීමට සහභාගී විය.

ඒ අනුව, මෙම පාඨමාලාවට අනුයුක්ත නාවික පුද්ගලයින් සති හතරක පුහුණු කාලසීමාවක් තුළදී මානව හිමිකම්, සන්නද්ධ ගැටුම් නීතිය, කුඩා ඒකක උපක්‍රම, නාගරික පරිසරයේ හමුදා මෙහෙයුම්, සංග්‍රාමික ප්‍රථමාධාර ක්‍රම, සංග්‍රාමික ප්‍රගුණ වෙඩි පුහුණුව, මෙහෙයුම් සැළසුම් කිරීම, නාවික මෙහෙයුම් සිදු කිරීම ඇතුළු විෂයයන් හා මෙහෙයුම් ක්ෂේත්‍රයන් පිළිබඳව හැදැරීම සහ ප්‍රායෝගික පුහුණුවීම් වල නිරත වන ලද අතර, එමගින් එක්සත් ජනපද යුධ හමුදා සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් අතර දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමටද මෙමඟින් හැකියාව ලැබිණි.

පවන්තා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වන ලද මෙම සහතිකපත් බෙදා දීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ජානක නිශ්ශංක සහභාගී වන ලද අතර, මෙම අවස්ථාවට 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමුහයේ අණදෙන නිලධාරී, විශේෂ යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරී, එක්සත් ජනපද යුධ හමුදා විශේෂ බලකායේ ඇල්ෆා 1313 මෙහෙයුම් අනුකණ්ඩයේ සාමාජිකයන් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමුහයේ සහ විශේෂ යාත්‍රා බලඝනයේ නාවික පුද්ගලයින් සීමිත පිරිසක් සහභාගී විය.