බූස්ස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පහසුකම් සංවර්ධනය සඳහා මූල්‍ය පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බූස්ස කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ‘දහම් පහන’ පදනම විසින් රුපියල් දස ලක්ෂයක (රු:1000000.00) යුත් මූල්‍යමය පරිත්‍යාගයක් 2021 සැප්තැම්බර් 13 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලදී.

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහය වෙමින් බූස්ස ශ්‍රීලංනානෞ නිපුණ ආයතනය තුළ නාවික හමුදාව විසින් කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කළ අතර එම ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා විවිධ ආයතන සහ සංවිධාන විසින් නාවික හමුදාව වෙත ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර සිදුකරනු ලබයි. ඒ අනුව, එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැනට පවතින පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ‘දහම් පහන’ පදනම විසින් මෙම මුල්‍ය පරිත්‍යාගය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සිදු කරන ලද අතර, එම මූල්‍ය පරිත්‍යාගය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ විසින් ගාල්ල කලුවැල්ල දේවස්ථානයේ දී 2021 සැප්තැම්බර් 13 වන දින භාර ගන්නා ලදි.

මෙම අවස්ථාව සඳහා ගාල්ල රඳගුරු ගරු රේමන් වික්‍රමසිංහ හිමිපාණන්, ‘දහම් පහන’ පදනමේ සාමාජික සුනිල් කැකුලන්දර මහතා සහ එම මැතිණිය ඇතුළු සීමිත පිරිසක් සහභාගී වි සිටියහ.