සිලාවතුර කොන්ඩච්චිකුඩා නාවික අනුඛණ්ඩයේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ

වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ථේරපුත්ත ආයතනය මඟින් පාලනය වන සිලාවතුර කොන්ඩච්චිකුඩා නාවික අනුඛණ්ඩයේ අභිනවයෙන් ඉදිකළ කුඩා ‍යාත්‍රා නැවැත්වීමේ ජැටිය අද (2021 සැප්තැම්බර් 28) වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

සිලාවතුර වෙරළ තීරය ඔස්සේ සිදුවන විවිධ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා කුඩා යාත්‍රා මුර සංචාර සිදු කිරීමේදී කොන්ඩච්චිකුඩා නාවික අනුකණ්ඩය තුළ කුඩා යාත්‍රා නැවැත්වීමේ පහසුකම් නොමැති වීම ආරක්‍ෂක මුර සංචාර කාර්යක්‍ෂමව සිදු කිරීමට බාධාවක්ව පැවතිණි. ඒ අනුව, කුඩා යාත්‍රා නැවැත්වීමේ පහසුකම් ඇති කිරීම උදෙසා වයඹ නාවික විධානයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහ එම විධානයේ කිමිදුම් අංශයේ නාවික පුද්ගලයින්ගේ දායකත්වයෙන් කඩිනමින් ඉදිකිරීම් අවසන් කරන ලද මෙම නව ජැටිය මඟින් එම මුහුදු තීරයේ ආරක්‍ෂක මුර සංචාර කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ප්‍රසාද් කාර්යප්පෙරුම ඇතුළු එම විධානයේ නිලධාරීන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.