පහසුකම් පුළුල් කළ නව නාවික මැහුම් මධ්‍යස්ථානය නාවික තඨාකාංගණයේදී විවෘත කෙරේ

පුළුල් කරන ලද පහසුකම් සහිත නව නාවික හමුදා මැහුම් මධ්‍යස්ථානය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2021 සැප්තැම්බර් 30) ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේදී විවෘත කෙරිණි.

නාවික පුද්ගලයින් සඳහා අවශ්‍ය සියළුම වර්ගයේ නිළ ඇදුම් නාවික හමුදාව තුළම අවශ්‍ය පරිදි මසා නිම කිරීම සඳහා උතුර, උතරු මැද, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර නාවික විධානයන් තුළ නාවික හමුදාව විසින් නාවික මැහුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි. එමඟින් නිළ ඇදුම් මැසීම සඳහා වැය වන විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට මෙන්ම දිවයිනේ ප්‍රදේශ රැසක කාන්තාවන් සඳහා රැකියා අවස්ථාවන් උදාකර දීමටද නාවික හමුදාවට හැකියාව ලැබී ඇත.

ඒ අනුව, අද (2021 සැප්තැම්බර් 30) දින නාවික හමුදාධිපති විසින් විවෘත කෙරුණු මෙම පුළුල් කරන ලද ඉඩ පහසුකම් සහ නව යන්ත්‍රෝපකරණ හා තාක්‍ෂණික උපාංග සහිත නව නාවික මැහුම් මධ්‍යස්ථානය මඟින් ඉදිරියේදී නිශ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමට මෙන්ම ප්‍රදේශයේ කාන්තාවන් හට නව රැකියා අවස්ථාවන් උදාකර දීමට ද හැකියාව ලැබෙනු ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කර තිබූ මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්, නාවික දියත් විධානයේ ධජ නිලධාරි රියර් අද්මිරාල් සජිත් ගමගේ, නැගෙනහිර නාවික විධානයේ කොමදෝරු සැපයුම් හා සේවා, කොමදෝරු තිලක් සිගේරා ඇතුළු නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.