නිළ සංචාරයක් සඳහා ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවන් කොළඹට

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘KAGA’, සහ ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘MURASAME’ යන නෞකාවන් අද (2021 ඔක්තෝබර් 02) නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘KAGA’ නෞකාව දිගින් මීටර 248ක් සහ නැව් මුළුව 210ක ගෙන් සමන්විත වන අතර එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් Nishida Satoshi කටයුතු කරනු ලබයි. ‘MURASAME’ නෞකාව දිගින් මීටර 151ක් සහ 200ක නැව් මුළුවකින් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් Kashiwagi Yuichirou කටයුතු කරනු ලබයි. ඕස්ට්‍රේලියාවේ සිට කොළඹ වරායට සේන්දු වූ මෙම නෞකාවන් නිළ සංචාරය තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවැත්වෙන ‘JA- LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා සහභාගී වීමෙන් අනතුරුව 2021 ඔක්තෝබර් 04 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

එමෙන්ම, කොළඹ වරායට සේන්දු වූ මෙම ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවන් හා සම්බන්ධ කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට නියමිතව ඇත.