නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රිය සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් මහව බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පවත්වනු ලැබූ බෝම්බ නිශ්ක්‍රිය සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය 2021 ඔක්තෝබර් මස 01 වන දින වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව, 2021 පෙබරවාරි මස 22 වන දින සිට 2021 ඔක්තෝබර් 01 වන දින දක්වා මහව බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පැවති 01/2021 බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව නිමකළ නාවික පුද්ගලයින් 24 දෙනෙකු වෙත නිළ ලාංඡන පැළඳවීම හා සහතිකපත් ප්‍රධානය වයඹ නාවික විධානයේ ආඥාපති විසින් සිදු කරන ලදී. එහිදී, ලුතිනන් ඒඑම්කේකේබී අබේසිංහ පාඨමාලාවේ සෑම අතින්ම දක්‍ෂතම නිලධාරියා ලෙසත්, නායක නැවි බීඑම්ඒඑස් විජේසිංහ නාවිකයා සෑම අතින්ම දක්ෂතම නාවිකයා ලෙසත් සහ බලනැවි එස්පීබී චනුක නාවිකයා කෘතීම බෝම්බ නිර්මාණකරනයේ දක්‍ෂතමයා ලෙසත් සම්මාන හිමිකර ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා ආඥාපති නාවික පාබල රියර් අද්මිරාල් අනුර කල්දේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් උදිත කුමාර, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී (බෝම්බ නිශ්ක්‍රීය හා පරිපාලන) කොමාණ්ඩර් එස්පී චන්ද්‍රසෝම ඇතුළු නාවික පුද්ගලයින් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.