ජර්මානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ජර්මානු ආරක්‍ෂක උපදේශක කපිතාන් ජෙරල්ඩ් කෝච් (Gerald Koch) අද (2021 ඔක්තෝබර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

කපිතාන් ජෙරල්ඩ් කෝච්, ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයට අනුයුක්තව ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කරන අතර, ඔහු නිළ වශයෙන් නාවික හමුදාධිපති හමුවූ ප්‍රථම අවස්ථාව මෙය විය. මෙම නිල හමුවේදී දෙරටේ නාවික හමුදාවන් අතර පවත්නා දිගුකාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්විණි.

තවද. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ඔලාෆ් මැල්කෝව් (Olaf Malchow), ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ජෑන් සිහාර් (Jan Cihar) සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ වෙළඳ, සංවර්ධන සහ දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක, ධරිනි දළුවත්ත මහත්මිය සහභාගී වූ අතර, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.