නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ කළුතර දිස්ත්‍රික්කයේ කෙලින්කන්ද ජනපදය ප්‍රාථමික විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්තේ පිහිටි කෙලින්කන්ද ජනපදය ප්‍රාථමික විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද සියළු පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද (2021 ඔක්තෝබර් 07) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව සෑම නාවික විධානයක් තුළම අඩු පහසුකම් සහිත පාසල් සංවර්ධනය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ බටහිර නාවික විධානය මඟින් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්තේ පිහිටි කෙලින්කන්ද ජනපදය ප්‍රාථමික විද්‍යාලයේ පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු 2021 අප්‍රේල් මස 19 වන දින ආරම්භ කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා පුද්ගලයන් සිය මාසික වේතනයෙන් ස්ව කැමැත්තෙන් පරිත්‍යාග කරන ලද මූල්‍ය දායකත්වයෙන් සහ බටහිර නාවික විධානයේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන්, මෙම විද්‍යාලයේ පහසුකම් රැසක් සංවර්ධනය කරන ලදී. මෙම විද්‍යාලයේ වසර ගණනාවක් අළුත්වැඩියාවක් සිදු නොකර ගරා වැටෙමින් තිබුණු සියළු පන්තිකාමර ගොඩනැගිලි සහ පරිපාලන ගොඩනැඟිලි නාවික හමුදා දායකත්වයෙන් පූර්ණ අළුත්වැඩියාවට ලක් කරන ලද අතර, නව පරිපාලන ගොඩනැඟිල්ලක් ඉදිකිරීමටද කටයුතු කරන ලදී. විද්‍යාලයේ බහුකාර්ය ගොඩනැඟිල්ල සඳහා පරිඝණක, පරිඝණක මේස සහ සන්නිවේදන පද්ධතියක්ද ස්ථාපිත කරන ලද අතර, ගුරුවරුන්ගේ විවේක කාමරයද මෙහිදී පූර්ණ අළුත්වැඩියාවකට ලක් කෙරිණි. දරුවන්ට ආරක්‍ෂිතව ක්‍රීඩා කටයුතු සිදුකිරීම සඳහා විද්‍යාලයේ නඩත්තුවක් නොකර වල් බිහිවී තිබූ ක්‍රීඩා පිටිය සම්පූර්ණයෙන් සංවර්ධනය කරන ලද අතර, කුඩා ළමුන් සඳහාවූ ළමා ක්‍රීඩා පිටියේ ක්‍රීඩා උපකරණ අළුත්වැඩියා කර ආරක්‍ෂිත වැටක් ද ස්ථාපිත කරන ලදී. තවද, නාවික හමුදාව විසින් විද්‍යාලය සඳහා ආරක්‍ෂිත වැටක් සහ ප්‍රධාන පිවිසීමේ දොරටුවක් අභිනවයෙන් ඉදිකර ආරක්‍ෂිත කැමරා පද්ධතියක්ද ස්ථාපිත කිරීමට කටයුතු කෙරිණි. විද්‍යාලයේ අනාරක්‍ෂිතව තිබූ විදුලි පරිපථ පද්ධතිය සහ උපාංග නාවික හමුදා දායකත්වයෙන් අළුත්වැඩියා කරන ලද අතර, විද්‍යාලයේ පානීය ජල පහසුකම් සංවර්ධනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය ජලනල පද්ධතිය සහ සියළු උපාංග ස්ථාපිත කිරීමද නාවික හමුදා දායකත්වයෙන් සිදු කෙරිණි.

එමෙන්ම, විද්‍යාලයේ බුදු මැදුරද ඉතා ආකර්ශනීය ලෙස සිසු දරුවන් වෙනුවෙන් නාවික හමුදාව විසින් මෙහිදී සංවර්ධනය කිරීමට කටයුතු කළ අතර, සිසු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කර දීම උදෙසා විද්‍යාල භූමියේ අලංකරණ කටයුතු ඉතා ආකර්ශනීය ලෙස නිම කිරීමද නාවික හමුදා දායකත්වයෙන් සිදු කරන ලදී.

මෙලෙස සංවර්ධන කටයුතු අවසන් කරන ලද කෙලින්කන්ද ජනපදය ප්‍රාථමික විද්‍යාලය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද දින (2021 ඔක්තෝබර් 07) සිසු අයිතියට පත් කරන ලද අතර, එහිදී එම විද්‍යාලයේ සිසු දරුවන් පිරිසක් වෙත පාසල් උපකරණ කට්ටල ප්‍රධානය කිරීමක්ද සිදු කෙරිණි.

මෙම අවස්තාවේදී ‍‍අදහස් දැක්වූ විද්‍යාලයේ විදුහල්පති කේවී නන්දසේන මහතා විසින් මතුගම කළාපයේ අති දුශ්කර පාසල් වර්ගීකරණයට අයත් ප්‍රාථමික අංශයේ දරුවන් 58 දෙනෙකු සිටින කෙලින්කන්ද ජනපදය ප්‍රාථමික විද්‍යාලයේ, ගරා වැටුණු ගොඩනැඟිලි අළුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය ප්‍රථිපාදන වෙන් කරවා ගැනීමට වසර 06ක පමණ කාලයක් තිස්සේ උත්සාහ කළත් ප්‍රමාණවත් තරම් ප්‍රථිපාදන නොලැබුණු පසුබිමක ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දරුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු සඳහා වඩා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිදු කළ මහඟු දායකත්වය අගයන බවත්, විද්‍යාලයේ සිසු දරුවන් දෙමාපියන් සහ ගුරු මණ්ඩලය වෙනුවෙන් මෙම උතුම් සමාජ සත්කාර්යය සඳහා මුල පිරූ නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත ප්‍රශංසාව පුද කරන බවත් මෙහිදී පවසන ලදී.

එමෙන්ම, නාවික හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් පහසුකම් අඩු පාසල් සංවර්ධනය කිරීමේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර, උතුර සහ වයඹ නාවික විධානයන් මඟින් සංවර්ධනය කරන ලද පාසල් මේ වන විට සිසු අයිතියට පත් කර ඇති අතර, ඉදිරියේදී අනෙකුත් නාවික විධාන මඟින් සංවර්ධනය කෙරෙමින් පවතින අඩු පහසුකම් සහිත තවත් පාසල් සිසු අයිතියට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කෙරෙමින් පවතී. තවද, සිසු අයිතියට පත් කළ කෙලින්කන්ද ජනපදය ප්‍රාථමික විද්‍යාලයේ පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා දායක වූ නාවික පුද්ගලයන් ඇමතූ නාවික හමුදාධිපති ඔවුන් වෙත සිය ප්‍රශංසාව පල කිරීමටද කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති කෙලින්කන්ද ජනපදය ප්‍රාථමික විද්‍යාලයේ සංවර්ධනය කරන ලද පහසුකම් සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, නාවික හමුදාධිපතිගේ නාවික සහායක සහ නාවික හමුදා පාසල් සංවර්ධන ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ නිලධාරී රියර් අද්මිරාල් සුජීව සෙනවිරත්න, බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සුරේෂ් ද සිල්වා, ශ්‍රීලංනානෞ රංගල ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් රොහාන් ජෝෂප්, මතුගම කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ලාල් දිසානායක මහතා, එම විද්‍යාලයේ විදුහල්පති කේවී නන්දසේන මහතා ඇතුළු ගුරු භවතුන් සහ සිසු දරුවන් සීමිත පිරිසක් මෙන්ම බටහිර නාවික විධානයේ නාවික පුද්ගලයන් සීමිත පිරිසක් ද සහභාගී වී සිටියහ.