නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිළ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2021 ඔක්තෝබර් මස 09 සහ 10 දෙ‍දින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම විධානයේ මෙහෙයුම් හා සුභසාධන කටයුතු පිළිබඳව අධීක්‍ෂණය කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය ද සහභාගී විය.

මෙම සංචාරය ආරම්භ කරමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් ඉදි කළ 874 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය පුත්තලම, කරුවලගස්වැව, රජවිගම සිරි සම්බුද්ධ ගලපිටගල විහාරස්ථාන පරිශ්‍රයේදී ජනතා අයිතියට පත් කිරීම නාවික හමුදාධිපති සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණියගේ ප්‍රධානත්වයෙන් 2021 ඔක්තෝබර් මස 09 වන දින සිදු කෙරිණි.

අනතුරුව, පුත්තලම නගර සභා ශාලාවේ පැවති විශේෂ සාකච්ඡාවක් සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති, එහිදී පුත්තලම කළපුව ආශ්‍රිත ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත නවජැටිය සම්බන්ධයෙන් මෙන්ම 71 වන නාවික හමුදා දිනයට සමගාමීව පුත්තලම කළපුවේ කඩෝලාන පැල ලක්‍ෂයක් (100000) ක් සිටුවීමේ වැඩසටහන සම්බන්ධයෙන්ද සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

වයඹ නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සුභසාධන කටයුතු පුළුල් කිරීමේ අරමුණින් ශ්‍රීලංනානෞ භරණ ආයතනය තුළ ඉදිකිරීමට නියමිත නව සේවා වනිතා පෙර පාසල සහ දිවා සුරකුම් මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීම 2021 ඔක්තෝබර් 10 වන දින නාවික හමුදාධිපතිගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රීලංනානෞ භරණ ආයතනයේදී විධානයේ නාවිකයින් ඇමතීමෙන් අනතුරුව, ශ්‍රීලංනානෞ ථේරපුත්ත ආයතනයේ කොන්ඩච්චිකුඩා නාවික අණුකණ්ඩයෙහි අභිනවයෙන් ඉදිකළ ජැටිය නිරීක්‍ෂණය සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති එහි මෙහෙයුම් කටයුතු කාර්යක්‍ෂමව සිදු කිරීම සඳහා උපදෙස් ලබා දෙන ලදී. ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ පිහිටි විහාරස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් චෛත්‍යයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, එහිදී ගරුතර මහා සංඝරත්නය වෙත දහවල් දානය පිරිනැමීමේ අවස්ථාව සඳහා ද නාවික හමුදාධිපති සහභාගී විය.

විධාන‍ නිලධාරී නිවාසයේදී විධානයේ නිළධාරීන් ඇමතූ නාවික හමුදාධිපති, විධානයේ මෙහෙයුම් කටයුතු කාර්යක්‍ෂමව සහ ඵලදායී ලෙස සිදු කිරීමට අවශ්‍ය උපදේස් ලබා දෙන ලදී. එමෙන්ම, මෙම සංචාරයේදී නාවික හමුදාධිපති විසින් ශ්‍රීලං‍නානෞ භරණ ආයතනයේ අභිනවයෙන් ඉදිකළ අවි ගබඩාව සහ එම ආයතනයේ නාවිකයින්ගේ සුභසාධන කටයුතු පුළුල් කිරීමේ අරමුණින් අභිනවයෙන් ඉදිකළ සිව් මහල් නාවික විවාහක නිවාස සංකීර්ණය විවෘත කිරීම සිදු කළ අතර, මෙම නාවික විවාහක නිවාස සංකීර්ණය නිදන කාමර දෙකකින් සමන්විත අංග සම්පූර්ණ නිවාස ඒකක 16කින් යුක්ත වේ.

තවද, මහව, බක්මීගහවත්ත ගම්මානයේ නාවික හමුදාව මඟින් ඉදිකරන ලද 875 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිගේ වයඹ නාවික විධානයේ නිළ සංචාරය නිමාවට පත්විය.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම නිළ සංචාරය සඳහා වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, එම නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මහේන්ද්‍ර වීරරත්න ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ වයඹ නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.