ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ

මේජර් ජෙනරාල් හරි බී පිල්ලේ (Major General Hari B Pillai) ගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් 2021 ඔක්තෝබර් මස 18 වන දින නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී දූත මණ්ඩල ප්‍රධානී මේජර් ජෙනරාල් හරි බී පිල්ලේ නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

දින 06 ක අධ්‍යයන චාරිකාවාරයක් සදහා 2021 ඔක්තෝබර් මස 18 වන දින අළුයම මෙම ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ ධූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණි අතර, මෙම නිලධාරින් පිරිස ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, බංගලාදේශය, ඇෆ්ගනිස්තානය සහ ඉරානය යන රටවල් වලට අයත් ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත වේ.

ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු නිශාන්ත පීරිස් විසින් මෙම ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව හා කාර්යභාරය සම්බන්දයෙන් හැදින්වීමේ දේශනයක් පවත්වන ලද අතර, අනතුරුව නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් ආරක්‍ෂාව සහ අනෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව එම ඉන්දියානු ධූත පිරිස සමඟ අධ්‍යයන සාකච්ඡාවක් පැවැත්වීමටද කටයුතු කෙරිණි.

මෙ‍ම ධූත පිරිස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවී සුහඳ පිලිසඳරක නිරතවීමෙන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.