නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉදිකල අභිනව භික්‍ෂු නේවාසිකාගාරය සඟ සතු කෙරේ

අම්පාර, පොතුවිල් ඓතිහාසික මුහුදු මහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ භික්‍ෂු නේවාසිකාගාරය සඟ සතු කොට පූජා කිරීම 2021 ඔක්තෝබර් මස 21 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

දායකයන්ගේ සහ අනුග්‍රාහක භවතුන්ගේ මුල්‍ය දායකත්වයෙන්, නාවික හමුදා පුර්ණ ශ්‍රම දායකත්වයෙන් ඓතිහාසික මුහුදු මහා විහාරයේ අභිනවයෙන් ඉදිකල නව භික්‍ෂු නේවාසිකාගාරය 2021 ඔක්තෝබර් මස 21 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් මෙලෙස සඟ සතු කොට පූජා කරන ලදි.

තවද, නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් විහාරස්ථාන භූමියේ ඉදිකිරිමට යෝජිත දොලොස් මහේ පහන සඳහා මුල් ගල තැබීම ද ගිණිකොන නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාව සඳහා මුහුදු මහා විහාරයේ විහාරාධිපති නැගෙනහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිගෞරවනීය වරකාපොළ ඉන්ද්‍රසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය, ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අසංග රණසූරිය ඇතුළු ගිණිකොන නාවික විධානයේ නාවික පුද්ගලයන් සීමිත පිරිසක් මෙන්ම දායකයන් සහ අනුග්‍රාහක භවතුන් පිරිසක් ද සහභාගී වී සිටියහ.