නාවික හමුදාව ඉදිකළ 880 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය වව්නියාව, බෝගස්වැව මහා විද්‍යාලයේදී ජනතා අයිතියට

නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන්, වව්නියාව, බෝගස්වැව මහා විද්‍යාල පරිශ්‍රයේ ඉදිකළ 880 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද (2021 ඔක්තෝබර් 25) උතුරු මැද නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

මාරාන්තික වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙකු ලෙස සමාජ සත්කාර්යයක නිරත වන ශ්‍රී ලංකා නාවික හමුදාව, එහි තවත් එක් පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ වයිස් අද්මිරාල් (විශ්‍රාමික) එස්එම්බී වීරසේකර ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ ඥාතීන් වන ටිබි විජේසිංහ මහතා සහ එම මැතිණිය ඇතුළු ඔහුගේ පවුලේ ඥාතීන්ගේ මූල්‍යමය දායකත්වයෙන් ඉදිකළ මෙම 880 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය වව්නියාව, බෝගස්වැව මහා විද්‍යාල පරිශ්‍රයේදී අද දින (2021 ඔක්තෝබර් 25) ජනතා අයිතියට පත් කරන ලදී. මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මඟින්, වව්නියාව, බෝගස්වැව මහා විද්‍යලයේ සිසු දරු දැරියන්ට මෙන්ම බෝගස්වැව ප්‍රදේශවාසීන් ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා බෝගස්වැව මහා විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් පිරිසක් මෙන්ම, ශ්‍රීලංනානෞ පණඩුකාභය ආයතනයේ විධායක නිලධාරී ඇතුළු උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් සහ ප්‍රදේශවාසීන් සීමිත පිරිසක් ද සහභාගීවී සිටියහ.