නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජයන්ත ගමගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් ජයන්ත ගමගේ සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 ඔක්තෝබර් 28) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි. අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාර පුද කර සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් ‍එම ජ්‍යේෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදී.

1987 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ 05 වන බඳවා ගැනිමේ නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ, සිය වසර 34 කට අධික සේවා කාලය තුළ විවිධ නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු නාවික පරීක්‍ෂණ ඒකකයේ අධ්‍යක්‍ෂ, අධ්‍යක්‍ෂ නාවික අහාර හා නිළ ඇඳුම්, ඒකාබද්ධ සැපයුම් කළමණාකරණ පද්ධතියේ අධ්‍යක්‍ෂ, ශ්‍රීලංනානෞ විදුර ආයතනයේ ආඥාපති, නාවික අණභාර නිලධාරී ත්‍රිකුණාමලය දකුණ, අධ්‍යක්‍ෂ ක්‍රීඩා, උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති සහ ගිණිකොන නාවික විධානයේ ආඥාපති ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.