බූස්ස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රුපියල් මිලියන 9කට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාවිතය සඳහා අවශ්‍ය රුපියල් මිලියන 9කට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ෂියල් පුද්ගලික සමාගම (Citizens Development Business Finance PLC) විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සංකේතාත්මකව ප්‍රදානය කිරීම අද (2021 නොවැම්බර් මස 05) නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිළිවෙලට සහය වෙමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 මැයි මස 04 වන දින බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතන පරිශ්‍රයේ රෝගීන් 200 දෙනෙකුහට එකවර නේවාසික ප්‍රතිකාර ලබා දීමේ පහසුකම් සහ ඇඳන් 16 කින් යුත් විශේෂ ප්‍රතිකාර ඒකකයක් (HDU) සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලදී. කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් සෞඛ්‍ය ක්ශේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර අගය කරමින් විවිධ ආයතන හා සංවිධාන වෙතින් නාවික හමුදාව වෙත විවිධ ප්‍රදානයන් සිදු කරනු ලබයි.

ඒ අනුව, බූස්ස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන්ගේ භාවිතය සඳහා අංග සම්පූර්ණ රෝගී ඇඳන් 50ක්, විශේෂිත රෝගී ඇඳන් (HDU type Bed) 10ක් හා එම ඇඳන් සඳහා නාල ඔක්ෂිජන් සැපයුම් ඒකකයක් (Gas system extension) සහ රෝගී අධික්‍ෂක යන්ත්‍ර 05ක් (Patient Monitors) ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් සංකේතාත්මකව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත ලබා දීම සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ෂියල් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ, මහේෂ් නානායක්කාර මහතා විසින් අද (2021 නොවැම්බර් මස 05) මෙලෙස නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. තවද, මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලබන අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්‍යමය දායකත්වය ලබා දීම ද සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ෂියල් පුද්ගලික සමාගම (CDB) විසින් සිදු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම වෛද්‍ය උපකරණ ප්‍රධානය කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදාව තුල කොවිඩි 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජ්‍යෙෂ්ඨ උපදේශක, රියර් අද්මිරාල් ජිඑස්ආර් ජයවර්ධන, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් සේනක සෙනෙවිරත්න, නාවික හමුදාධිපතිගේ නාවික සහයක රියර් අද්මිරාල් සුජීව සෙනවිරත්න, නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවා කොමදෝරු පිජේබී මාරබගේ සහ නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු නාවික පුද්ගලයන් සීමිත පිරිසක් සහ සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ෂියල් පුද්ගලික සමාගම (CDB) නියෝජනය කරමින් පිරිසක් සහභාගී වි සිටියහ.