නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අශෝක විජේසිරිවර්ධන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් අශෝක විජේසිරිවර්ධන සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 නොවැම්බර් 05) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් අශෝක විජේසිරිවර්ධන වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි. අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාර පුද කර සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් ‍එම ජ්‍යේෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදී.

1988 වර්ෂයේදී 18 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් අශෝක විජේසිරිවර්ධන, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ විවිධ නෞකා, ආයතන සහ නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු වැඩ බලන විනයාරක්‍ෂාධිපති, වැඩ බලන නාවික අණභාර නිලධාරී පූනෑව හා ශ්‍රීලංනානෞ ශික්‍ෂා ආයතනයේ ආඥාපති, නාවික අණභාර නිලධාරී හා වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරි හම්බන්තොට, නාවික පරීක්‍ෂණ ඒකකයේ අධ්‍යක්‍ෂ ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.