71 වන නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පූජාව නාවික හමුදාධිපතිගේ ප්‍රදානත්වයෙන් අනුරපුර පුදබිමේදී

2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් කංචුක පූජාව සහ නාවික ධජයන් වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය මෙවරත් නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් 2021 නොවැම්බර් මස 11 සහ අද (2021 නොවැම්බර් මස 12) රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගෙතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

නාවික හමුදාධිපති විසින් අනුරාධපුර අට‍මස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝණායක, ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේ ප්‍රථමයෙන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව, 71 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ආශිර්වාද පතා සිදුකෙරෙන ආගමික වැඩසටහන් මාලාව ආරම්භකරමින්, නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද කඤ්චුක පූජා පිංකම රුවන්වැලි මහා සෑ රදුන් අබියස නොවැම්බර් මස 11 වන දින පැවැත්විණි. එහිදී අලංකාරවත් පෙරහැරකින් රැගෙන ආ මීටර 300ක දිගකින් යුත් බෞද්ධ ධජයක් රුවන්වැලි මහ සෑ ගර්භය වටා පැළඳවීම නාවික හමුදාධිපති ප්‍රමුඛ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් සිදු සිදුකෙරිණි.

අනතුරුව, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර රුවන්වැලි සෑය මහවිහාර පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී, අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑ විහාරාමාධිකාරී, ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි, අනුරාධපුර මහා විහාර මහ පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කුඩාගල වැවේ ඥානවිමල ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ ආගමික වතාවත් සිදුකර පිරිකර සහ ගිලන්පස පුජා කිරීම බැති සිතින් සිදුකෙරිණි.

අද දින (2021 නොවැම්බර් මස 12) අනුරාධපුර අට‍මස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝණායක, ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය විසින් නාවික ධජයන් වෙත ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී පැවැත්වුනු අතර, මෙහිදී ජාතික ධජය, බෞද්ධ ධජය, ශ්‍රී ලංකා නාවික හමුදා ධජය ඇතුළු නාවික හමුදා විධාන, ආයතන සහ නෞකාවන්ට අයත් ධජ 94 ක් ජය ශ්‍රී මහා බෝ මලුවේදී පංචතූර්ය නාද මධ්‍යයේ ආශිර්වාදයට පාත්‍ර විය.

මෙහිදී, අටමස්ථානය නියෝජනය කරමින් වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය විසින් පැමිණ සිටි පිරිස පංච සීලයේ පිහිටුවා පිරිත් සඡ්ඣායනයකර ජය ශ්‍රි මහ බෝ සමිදුන් ඉදිරිපිටදී ආගමික වතාවත් සිදු කරන ලදී. ඉන් අනතුරුව ප්‍රධාන අනුශාසනාව සිදු කළ ලංකාරාමාධිපති රළපනාවේ ධම්මජෝති ස්වාමීන් වහන්සේ, මව්බිම ත්‍රස්ථවාදයෙන් නිදහස් කර ගැනීම සඳහා නාවික හමුදාව සිදු කළ සු‍විශේෂී කාර්යභාරයද, අතීතයේ මෙන්ම වර්ථමානයේද මෙරට බෞද්ධාගමේ චිරස්තතිය සඳහා නාවික හමුදාව සිදු කරන දායකත්වය සහ ස්වභාවික ව්‍යසන අවස්ථාවන්හිදී හා කොරෝනා වසන්ගතය හමුවේ නාවික හමුදාව සිදුකරනු ලබන කාර්යය භාරය අගයමින්, සටනේදී දිවි පිදූ, අතුරුදන්වූ සහ ආබාධිත තත්වයට පත් වූ සියළුම විරෝධාර නාවික විරුවන් වෙත මෙහිදී පුණ්‍යානුමෝදනා කරන ලදී. තවද, අතිගරු ඡනාධිපති තුමා ඇතුලු සියලුම රටවැසියන්ටත් නාවික හමුදාධිපති ඇතුළු දැනට සේවයේ නියුතු සියළුම නාවික පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගේත් ඉදිරි අභිවෘද්ධිය උදෙසා ද අශිර්වාද ප්‍රාර්ථනා සිදු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරනලද මෙම ආගමික වැඩසටහන සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න හා සහ එම මැතිණිය, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න ඇතුළු නාවික විධාන ආඥාපතිවරුන් සහ නාවික හමුදා ‍අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයට හා උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.